Thursday, May 24, 2012

බුදුන් වහන්සේ වදාළ ධර්මය

අත්ත වග්ගො 10

අත්තදත්ථං පරත්ථෙන
බහුනාපි න හාපයෙ
අත්ථදත්තමහිඤ්ඤාය
සදත්ථපසුතො සියා

බොහෝ සෙයින් අනුන් සඳහා කරන වැඩ නිසා තමාගේ වැඩ නො පිරිහෙළා ගත යුතුය.තමාගේ වැඩ මේ යයි විශේෂයෙන් දැනගෙන එහි යෙදිය යුතුය..

අත්ත වග්ගො 9

අත්තනාව කතං පාපං
අත්තනා සඞකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤාමඤ්ඤො විසොධයෙ

යමකු පව් කළොත් එයින් ඔහුම කෙළෙසෙන්නේ ය.යමකු පව් නොකළොත් එයින් ඔහු පිරිසිදු වන්නේ ය.පිරිසිදුව හා අපිරිසිදුවත් පවතින්නේ තමා කෙරෙහි ම ය.එකෙක් අනිකකු පිරිසිදු නොකරන්නේ ය..

අත්ත වග්ගො 8

යො සාසනං අරහතං
අරියානං ධම්මජීවිනං
පටික්කොසති දුම්මෙධො
දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සෙව
අත්තඝඤ්ඤාය ඵල්ලතී

යම් අඥානයෙක් තමාගේ පාප වැරදි අදහසක් නිසා ධාර්මික දිවි පැවතුම් ඇති රහත් වූ ආර්යයන්ගේ අනුශාසනාවක් වළකාලයි ද හුණ ගසේ පල ගැන්ම මෙන් ඔහුගේ ම විනාශය පිණිස පවතී..

අත්ත වග්ගො 7

සුකරානි අසාධූනි
අත්තනො අභිතානිච
යං චෙ හිතං ච සාධුං ච
තං වෙ පරමදුක්කරං

තමාට අහිත වූ අයහපත් දේ ලෙහෙසියෙන් කරගත හැකිය.යම් දෙයක් තමාට වැඩ දායක හෝ යහපත් හෝ වේ නම් එය කිරීම අමාරුය..

අත්ත වග්ගො 6

යස්ස අච්චන්තදුස්සීල්‍යං
මාලුවා සාලමිවොතතං
කරොති සො තථත්තානං
යථා නං ඉච්ඡතී දිසො

සල් ගසේ එතුණු මාලුවා වැල එය මුළුමණින් ම යට කරගෙන සිටී.කෙනෙකුගේ තද දුස්සීලකම ඔහු යට කරගෙන සිටින්නේත් ඒ අයුරිනි.සතුරා සිය සතුරාට අනර්ථයක් කරන්නා සේ දුස්සීලයාත් දුස්සීලකම නිසා තමහට අනර්ථ කරගනී..

අත්ත වග්ගො 5

අත්තනාව කතං පාපං
අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මෙධං
වජිරං වස්මමයං මණිං

ගලෙන් ම ඇති වී ඒ ගල ම කා සිදුරුකර දමන දියමන්තිය මෙන් තමා විසින් කරන ලද,තමා තුළ ම උපන්,තමාගෙන් ම ඇතිවූ පාපය අනුවණ වූ තමා, මැඬලයි..

අත්ත වග්ගො 4

අත්තා හි අත්තනො නාථො
කො හි නාථො පරොසියා ?
අත්තනාච සුදන්තෙන
නාතං ලභති දුල්ලභං

තමාට පිහිට තමාම ය.වෙන කවරෙක් තමාට පිහිට වේ ද ?තමා මනාව දැවුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ..

අත්ත වග්ගො 3

අත්තනං චෙ තථා කයිරා
යථඤ්ඤ මනුසාසති
සුදන්තො වත දම්මෙථ
අත්තා හි කිර දුද්දමො

යම් පිළිවෙලකින් කටයුතු කිරීමට අනුන්ට අනුශාසනා කරයි ද, ඒ පිළිවෙලින් ම තමාත් ක්‍රියා කළ යුතුය.තමා දමනය වී අනුන් දමනය කළ යුතුය.ඉතාමත් අමාරුම කටයුත්ත නම් තමා විසින් තමා දමනය කර ගැනීම ය..

අත්ත වග්ගො 2

අත්තානමෙව පඨමං
පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤ මනුසාසෙය්‍ය
න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

තමාම පළමු කොට සුදුසු ගුණයෙහි පිහිටා ඊළඟට අනුන්ට ඒ ගැන අනුශාසනා කළ යුතුය.එසේ කරන පණ්ඩිතයා නො කෙලෙසෙයි..

අත්ත වග්ගො 1

අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤ තරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො

තමාට තමා ප්‍රිය නම් ආත්මය රැකගත යුතුය. පණ්ඩිතයා බාල විය, මැදුම් විය, මහලු විය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවක දී වත් කුසලින් තමා පෝෂණය කරගත යුතුය..

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

බුදුන් වහන්සේ වදාළ ධර්මය

බාල වග්ගො 7

චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙනෙ ව අත්තනා
කරොන්තා පාපකං කම්මං
යං හොති කටුකප්ඵලං

නුවණ මඳ වූ දෙලෝ වැඩ නොදත් අනුවණයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් තමාට ම සතුරු වූ ආත්මයක් සමග හැසිරෙත්..

බාල වග්ගො 5

යාවජීවම්පි චෙ බාලො
පණ්ඩිතං පයිරුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා

හැන්දට මාළු පිණිවල රස නො දැනෙන්නා සේ මෝඩයාට දිවි පවත්නා තෙක් පණ්ඩිතයකු ඇසුරු කළත් ධර්මය දැනගත නො හැකිය...

බාල වග්ගො 4

යො බාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො
බාලො ච පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්ච තී

යම් මෝඩයකුට තමාගේ මෝඩකම ගැන හැඟේ නම් එයින් මත් ඔහු පණ්ඩිතයෙක් වේ.'තමා පණ්ඩිතයෙකැ'යි සිතන මෝඩයා ඒකාන්තයෙන්ම මෝඩයෙකි..

බාල වග්ගො 13

යාවදෙව අනත්ථාය
ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කං සං
මුද්ධමස්ස විපාතයං

මෝඩයා දත් යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔහුගේ අනර්ථය පිණිස පවතී.එය ඔහුගෙ නුවණ නමැති හිස පොඩි කර කුසල් නමැති යහපත් ගතිගුණ නසාලයි..

බාල වග්ගො 12

න හි පාපං කතං කම්මං
සජ්ජු බීරං ව මුච්චති
ඩහන් තං බාලමන් වෙති
භස්මච්ඡන්නොව පාවකො

දෙවූ වහා ම කිරි නොමිදෙන්නාක් මෙන් කෙනෙකු විසින් කරන ලද පව් කළ වහා නො මෝරයි.එය අළු යට වූ ගින්නක් මෙන් මෝඩයා දවමින් ඔහු ලුහුබඳී..

බාල වග්ගො 10

මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

පව් මෝරා විපාක දෙන තෙක් මෝඩයා එය මී පැණි මෙන් සලකයි. යම් විටෙක පව මෝරා විපාක දෙයි ද එවිට උහු දුකට වැටේ..

බාල වග්ගො 9

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීනො සුමනො
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේ ද, යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකි වේ ද එබඳු දේ කිරීම යහපත්ය..

බාල වග්ගො 3

පුත්තා මත්ථි ධනම්මත්ථි
ඉති බාලො විභඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං ?

මෝඩයා මට දරුවෝ ඇත, ධනය ඇත කියා සිතමින් වෙහෙසෙයි.තමාට තමාත් නැති කල කුමන පුත්තුද ? කුමන ධනයද ?

බාල වග්ගො 16

අඤ්ඤා හි ලාභුපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනි
එවමෙතං අභිඤ්ඤාය
භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාහිනන්දෙය්‍ය
විවෙක මනුබ්‍රෑහයෙ

ලාභ සත්කාර උපදවන පිළිවෙත එකකි. නිවන කරා ලංවන පිළිවෙත අනිකකි.බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව මෙය මෙසේ දැන ලාභ සත්කාරවලට සතුටු නොවිය යුතුය. විවේකය වැඩිය යුතුය..

බාල වග්ගො 15

මමෙව කතමඤ්ඤන්තු
ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු
කිච්චාකිච්චෙසු කිස්මිචි.
ඉති බාලස්ස සංකප්පො
ඉච්ඡා මානොව වඩ්ඪති

ගිහි පැවිදි දෙපක්ෂයට ම පන්සලේ සියලු වැඩ කටයුතු මා විසින් කරන ලද්දේ යැයි ද, සියලු කටයුතු නොකටයුතු වලදී ඔවුහූ මට පක්ෂ වෙත්වා යැයි ද සිතයි. මේ අයුරින් මෝඩයාගේ මෝඩ කල්පනාව ද, ආශාවද, මානයද වැඩේ..

බාල වග්ගො 14

අසතං භාවන මිච්ඡෙය්‍ය
පුරෙක්ඛාරං ච භික්ඛුසු
ආව සෙසු ච ඉස්සරියං
පූජා පරකුලෙසු ච

අයහපත් හිස් භික්ෂුව අනුන්ගේ ගරු බුහුමන් කැමති වේ. භික්ෂූන් අතර පෙරටු බව කැමති වේ. ආවාසයන්හි අධිපතිකම කැමති වේ. නො නෑ කුලයන්හි පුද සැලකිලි කැමති වේ..

බාල වග්ගො 11

මාසෙ මාසෙ කුසග්ගෙන
බාලො භුඤ්ජෙථ භොජනං
න සො සංඛතධම්මානං
කලං අග්ඝති සොළසිං

මෝඩයා මසක් පාසා කුස තණ අතින් ගෙන බොජුන් වළදයි.එහෙත් ඔහු චතුරාය්‍ය්ර්‍ සත්‍යය පිරිසිඳ දත් ආර්යයන්ගේ සොළොස් වන කලාව තරම්වත් නො වටනේය..

බාල වග්ගො 8

න තං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේ ද, යමක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදු වේ ද එබඳු දේ නොකිරීම හොදය..

බාල වග්ගො 6

මුහුත්තමපි චෙ විඤ්ඤු
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා

දිවට මාළුපිණිවල රස දැනෙන්නා සේ බුද්ධිමතාට මොහොතක් වුවත් පණ්ඩිතයකු ඇසුරු කිරීමෙන් වහා ධර්මය දැනගත හැකිය..

බාල වග්ගො 2

චරං චෙ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො
ඵනචරියං දළ්හං කයිරා
නත්ථි බාලෙ සහායතා

කළ්‍යාණ මිත්‍රයකු සොයා ඇවිදින්නකුට තමාට වඩා උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් හෝ නොලැබෙන්නේ නම් තනිව හැසිරීමේ අදහස දැඩි කරගත යුතුය.බාලයන් හෙවත් මෝඩයන් හා එක්වීම හොඳ නැත..

බාල වග්ගො 1

දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං

නිදි මරන්නාට රාත්‍රිය දිග ය.ගමන් ගොස් වෙහෙසුන අයට යොදුන දිග ය.බණ නොදන්නා වූ මෝඩයන්ට සසර දිගය.

Extracted from [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

Wednesday, May 23, 2012

බුදුන් වහන්සේ වදාළ ධර්මය

කොධ වග්ගො 13

මනොපකොපං රක්ඛෙය්‍ය
මනසා සංවුතො සියා
මනො දුච්චරිතං හිත්වා
මනසා සුචරිතං චරෙ

සිත කිපීම වළක්වා ගත යුතුය. සිතින් සංවර විය යුතුය.සිතින් සිදුවන දුසිරිත් හැර සිතින් සුචරිතයෙහි හැසිරිය යුතුය..

කොධ වග්ගො 12

වචිපකොපං රක්ඛෙය්‍ය
වාචාය සංවුතො සියා
වචිදුච්චරිතං හිත්වා
වාචාය සුචරිතං චරෙ

වචනය කිපීම වළක්වා ගත යුතුය.වචනයෙන් සංවර විය යුතුය.වචනයෙන් සිදුවන දුසිරිත් හැර වචනයෙන් සුචරිතයේ හැසිරිය යුතුය..

කොධ වග්ගො 11

කායප්පකොපං රක්ඛෙය්‍ය
කායෙන සංවුතො සියා
කායදුච්චරිතං හිත්වා
කායෙන සුචරිතං චරෙ

කය කිපීම වළක්වා ගත යුතුය.කයින් සංවර විය යුතුය.කයින් සිදුවන දුසිරිත් හැර කයින් සුචරිතයෙහි හැසිරිය යුතුය..

කොධ වග්ගො 14

කායෙන සංවුතා ධීරා
අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධිරා
තෙ වෙ සුපරිසංවුතා

පණ්ඩිතයෝ කයින් සංවර වෙත්. වචනයෙන් සංවර වෙත්. සිතින් සංවර වෙත්.එසේ වූවෝ ඒකාන්තයෙන් මනාව සංවර වූවෝ නම් වෙත්..

කොධ වග්ගො 9

යං චෙ විඤ්ඤු පසංසන්ති
අන්විච්ච සුවේ සුවේ
අවිච්ඡිද්ද වුත්තිං මෙධාවිං
පඤ්ඤා සීල සමාහිතං

නුවණැත්තෝ සිදුරු රහිත පැවතුම් ඇති බුද්ධිමත් වූ නුවණින් හා ශීලයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙකුට දිනපතා සොයා බලා කරුණු විමසා ප්‍රශංසා කෙරෙද්ද,

කොධ වග්ගො 10

නෙක්ඛං ජම්බොනදස්සෙව
කො තං නින්දිතුමරහති
දෙවාපි නං පසංසන්ති
බ්‍රහ්මුනාපි පසංසිතො

දඹ රනින් කළ ආභරණයක් බඳු වූ ඔහුට නින්දා කිරීමට කවරෙක් සුදුසු වේ ද ? දෙවියෝත් එබඳු පුද්ගලයාට පසසත්.ඔහු බ්‍රහ්මයා විසින් ද පසස්නා ලද්දෙකි..

කොධ වග්ගො 8

න චාහු න ව භවිස්සති
න චෙතරහි විජ්ජති
එකන්තං නින්දිතො පොසො
එකන්තං වා පසංසිතො

තනිකර ම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙර ද නො වී ය. මතු ද නො වන්නේ ය. දැනුදු නැත..

කොධ වග්ගො 7

පොරාණමෙතං අතුල
නෙතං අජ්ජතනාමිව
නින්දන්ති කුණ්හිමාසිනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිනම්පි නින්දන්ති
නත්ථි ලොකෙ අනින්දිතො

අතුලය, ලෝකයා නිශ්ශබ්දව සිටින්නාට ද නින්දා කරත්.බොහෝ සේ කථා කරන්නාට ද, නින්දා කරත්. ලෝකයෙහි නින්දා නොලබන්නෙක් නැත.මෙය අද ඊයෙක ඇති වූ දෙයකුත් නොවෙයි.මෙය පෙර සිට පවතෙන්නකි..

කොධ වග්ගො 6

සදා ජාගරමානානං
අහොරත්තානු සික්ඛිනං
නිබ්බානං අධිමුත්තානං
අත්ථං ගච්ඡන්ති ආසවා

හැම විට ම අවදිව සිටින (කෙලෙස් නින්දෙන් නොනිදන ) දිවා රෑ දෙකේහි ශීල, සමාධි, ප්‍රඥා පුරන, නිවනෙහි ඇලුණු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ නැති වෙත්..

කොධ වග්ගො 5

අහිංසකා යෙ මුනයො
නිච්චං කායෙන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං
යත්ථ අන්ත්වා න සොචරෙ

නිතර කයින් සංවර වූ යම් අහිංසක මුනිවරු වෙද්ද, ඔවුහූ යම් තැනකට ගොස් ශෝක නොකරද්ද, ඒ තැන වූ නිවනට යත්..

කොධ වග්ගො 4

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාපස්මිංපි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ

ඇත්ත කිව යුතුය.නො කිපිය යුතුය.අනිකකු යමක් ඉල්ලූවිට ටිකක් හෝ දිය යුතුය.මේ තුන් කරුණින් කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය..

කොධ වග්ගො 3

අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං

ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, තද මසුරා - දීමෙන් හෙවත් ත්‍යාගයෙන් ද,බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය..

කොධ වග්ගො 2

යො චෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො

ඉතා වේගයෙන් දුවන රථයක් වළකා මනාව හසුරුවා ගන්නා දක්ෂ රියැදුරකු මෙන්, යමෙක් සිතෙහි හටගත් ක්‍රෝධය මැඬපවත්වා ගනී ද, ඔහු නියම රියදුරෙකැ'යි මම කියමි.සාමාන්‍ය රිය එළවන අන් ජනයා නිකම් තෝන් ලනුව අල්ලන්නෝය..

කොධ වග්ගො 1

කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සංයොජනං සබ්බමතික්කමෙ‍ය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිංචනං නානුපතන්ති දුක්ඛා

යමෙක් ක්‍රෝධය දුරු කරයි ද, මානය පහ කරයි ද, සියලු සංයෝජන (බැඳුම් ) ඉක්මවයි ද, නාම රූප දෙකෙහි නො ඇලෙන රාගාදී කෙලෙස් නැති ඒ පුද්ගලයා කෙරෙහි කායික චෛතසික දුක් නො පවතී..

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com

Thursday, May 17, 2012

මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න

(සෙනෙහෙබර මවක් සහ යොවුන් පුතකු අතර ඇතිවූ දෙබසකි)

පුතා :- අම්මෙ… මම කාරණාවක් අහන්ට ද? මට මහණවෙන්න අවසර ඕන.

මව :- අනේ මගෙ රත්තරං පුතේ, මොනවද මේ කියන්නේ…? පුතා මහණ වුනාම අපට සලකන්නේ කවුද?

පුතා :- ඇයි අම්මේ, අම්මටයි තාත්තටයි සලකන්න මගේ නංගියි මල්ලියි ඉන්නෙ! එයාල මම සලකනවටත් වැඩිය හොඳට අම්මලාට සලකාවි.

මව :- අපි වයසට යන කොට අපිව මගහැරල යන්න පුතාට දුක නැද්ද?

පුතා:- අම්මේ පරමාර්ථය උතුම් නම්, මේ ලෝකෙ මොකක්ද දරාගන්න බැරි දුක! කොහොම උණත්, මහලු කාලයේ දි අම්මලාට සලකන්න කෙනෙක්, උපස්ථාන කරන්න කෙනෙක් නැත්නම් මම පිඬු සිඟා ගොස් ලබන ආහාර අම්මලාට කවන්නටත්, සිවුරු සඳහා පූජා කරනු ලබන වස්ත්‍ර අම්මලාගෙ ප්‍රයෝජනේට දෙන්නත් මට පුළුවන් නෙ. මෙවැනි පින්කම් අපේ මහා කාරුණික අමාමෑණියන් වහන්සේ පවා භික්‍ෂූන් වහන්සේට තහනම් කරල නැහැ. එතකොට අපට කොච්චර පී‍්‍රතියෙන් ඉන්න පුළුවන්ද….?

මව :- ඉතින් රත්තරන් පුතේ….., පුතා මහණ උණාම අපි කිසිකෙනෙක් ළඟ නැතිව පුතාට ඉන්න පුළුවන්ද?

පුතා :- අම්මේ, අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සෙ දේශනා කරපු ආකාරයට, මේ විදියට සෙනෙහෙවන්ත, සමීප අයට තදින් බැඳී සිටින බැමි ලිහා දමන තරමටයි හිතේ සැපයත්, නිදහසත්, ඇතිවන්නෙ.

“පියතො ජායතී සොකො – පියතො ජායති භයං
පියතො විසමුත්තස්ස – නත්ථි සොකො කුතො භයං “

අම්ම , තාත්ත, සහෝදර, සහෝදරියන්, ඥාති හිතමිත්‍රාදීන් කෙරෙහි ඇති ආදරය මුළු ලෝක සත්ත්වයා කෙරෙහි දක්වන්ට පටන්ගත් තැනයි නියම සැපත ඇතිවන්නෙ… නියම සතුට ඇති වෙන්නෙ. මම පැවිදි උණාම එක අම්ම කෙනෙකුගෙ පුතෙක් නෙවෙයි. හැම අම්මලාගෙම පුතා. එක පුතෙකුගෙ පියෙක් නෙවෙයි. හැම පුතාගෙම පියා. එතකොට අම්මෙ කාටත් පොදුවේ මෛත්‍රී කරන්න, කරුණාව දක්වන්න, සේවය කරන්න මට පුළුවන්. ඊට වඩා වැඩි සැපයක් තියෙනවද….! සුවයක්, නිදහසක් තියෙනවද…!

මව :- ඉතින් මගේ බුදු පුතේ, මහණ උණාම පුතාට දුක් විඳින්න වෙනව නේද?

පුතා :- අම්මේ, ඒ ඒ දේවල් තම කැමැත්තෙන්ම අත් හරින්න හැකිවීම ලොකු භාග්‍යයක්. ඒ ලැබෙන සැපය, සුවය අප්‍රමාණයි. පුහු කාමයන් ගෙන් වෙන්වී සිටීමේ අගය අප අමාමෑණියන් වහන්සේ කෙතරම් අවස්ථාවලදී දේශනා කරල තියෙනවද…. ඒ වගේම අම්මේ මේ සැපය, සතුට කියන දේ සිතේ ඇතිවන දෙයක් මිස, ඉන් බාහිර වූ දෙයක් නෙවෙයි. ඉතින් අම්මේ, පැවිදි ජීවිතය සැපෙන් ගෙවීමට මගේ හිත හදාගෙන තියෙනව නම්, බාහිර දෙයින් මට කොහොම ද දුකක් එන්නෙ…?

මව :- ඉතින් පුතේ ඔයාට දානෙ වේලක් එහෙම වැරදුනොත්?

පුතා :- අනේ මගේ අම්මේ, ඕකත් කණගාටුවෙන්න දෙයක් ද? වේලක් දෙකක් බඩගින්නෙ ඉන්න එක ඔය තරම් දුෂ්කර දෙයක්ද? මේ දුක්ඛිත සංසාර ගමනෙදි අපි කොයිතරම නම් බඩගින්නෙ ඉන්න ඇති ද…? කුසට වේලක් ආහාර නැති උණාට අම්මෙ, බුදුසමිඳුගෙ ලයින් උපන් දරුවන්ට අනතුරක්, කරදරයක් වෙන්නෙ නෑ. එයාල ධර්මය තුළ සුරක්‍ෂිතයි. පිය උරුමය එයාලට හැමදාම ආරක්‍ෂාව සලසනව. අනික අම්මෙ, සාරා සංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දානාදි පාරමිතාවන් පුරාගෙන ආපු අප මහා කාරුණික බුදුපියාණන් වහන්සේටත් දානවේල වැරදුණා නම් අපි වගේ අය ගැන කවර කතාද?

මව :- අනේ මගෙ පුතා නම් සුදුසු මහණදම් පුරන්නමයි සුදුසු. ඒ උණත් පුතේ, අපි කොහොමද පුතා නැති පාළුව ඉවසාගෙන ඉන්නෙ?

පුතා :- ඕකත් කනගාටුවෙන්න දෙයක් ද අම්මේ? මට මහණවීමට කැමැත්ත ඇතිවුන එක ගැන අම්ම සතුටුවෙන්න ඕන. දරුවෙක් ශාසනයට පූජ කිරීමෙන් ලැබෙන පින අප්‍රමාණයි. ඒ නිසා හිත පහදවා ගෙන ඒ සියළු පින් අනුමෝදන් වෙන්න. අනික අම්මෙ අපිට මේ සංසාරෙ කොයිතරම් නම් දරුවො ඉඳල ඇති ද? එයාල අකාලයේ මැරුණු, අතුරුදහන් වුනු, දෙමව්පියන්ට හිතුවක්කාර වෙලා දාල ගිය අවස්ථා කොච්චර නම් තියෙන්න ඇති ද? දෙමව්පියො විදියට අපි ඒ වෙනුවෙන් කොයිතරම් නම් කඳුළු හලන්න ඇති ද? ඒ හලාපු කඳුළු සතර මහා සාගර ජලයටත් වඩා වැඩි බවයි තුන් කල් දකිනා අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියල දුන්නෙ. ඉතින් තවත් අපි මේවට ඇලිල සංසාරෙම පතමින් ගියොත්, මේ කඳුලින්, සුසුමින් නම් ගැලවීමක් නැහැමයි අම්මෙ.
අනික අම්මෙ අපිට හැමදාම එකට ඉන්න බැහැනෙ. කවද හරි යන්න වෙනව. විවාහයක් කරගත්තත් මට මේ විදියටම අම්මලගෙන් වෙන් වෙලා යන්න වෙනව. ඉතින් මම මේ යන්න හදන්නෙ ඊට වඩා සිය දහස් ගුණයකින් උතුම් දේකට. අම්මලට පුළුවනි ඕනි වෙලාවක ඇවි මාව බලන්න. කතාබහ කරල බණ ටිකක් අහල යන්න.

මව :- ඒක නම් ඇත්ත තමයි පුතේ. මගේ බුදු පුතාගෙ අදහස්වල වටිනාකම මට මොහොතෙන් මොහොත වැටහෙනව. මගෙ පුතා ගිහිගෙන් නික්මෙල, මහණ දම් පුරමින් සිල්වත්, ගුණවත් ජීවිතයක් ගත කරන කොට, ඒ ගැන අම්මට කොච්චර සතුටුවෙන්න පුළුවන්ද?

පුතා :- මම සිවුරු පොරවාගෙන පිරිසිදු සිල් ආරක්‍ෂා කරන කොට එයින් ලැබෙන මහත්පල මහා ආනිසංස පින් අම්මලත් නිතරම අනුමෝදන් වෙන්න. අම්මල මාව මේ ලෝකෙට බිහි කරල, හදපු වඩපු නිසානෙ මට මේ තරම් උතුම් දෙයක් කරගන්න වාසනාව ලැබුනෙ. බුද්ධ පුත්‍රයෙකු ලෙස මම එක පවුලකට සීමා නොවී, මුළු සමාජයටම යහපතක්, ආශිර්වාදයක් වෙමින් ජීවත්වීම දකින විට කොට අම්මට ලොකු සතුටක් ඇතිවේවි.

මව :- මගෙ රත්තරන් බුදු පුතේ, මා පුතාට පෙවු මවු කිරිවල ණය ගෙවෙන්නට, පුතා මා දහම් කිරිවලින් පෝෂණය කරනවා වගෙයි.

පුතා :- දරුවන්ට දෙමව්පියන් ගෙ ණය ගෙවන්න තියෙන එකම ක්‍රමයත් ඒකමයි අම්මෙ. දෙමව්පියන්ට ධර්මය කියා දීල ඒ අයව තිසරණයෙ පිහිටවන්න පුළුවන් උණොත්, දරුවො ඒ ණයෙන් නිදහස් වෙනව. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ අපට කියා දීල තියෙන්නෙ. අප මහා කාරුණිකයන් වහන්සේ දේශනාකොට වදාරන ලද ඒ උතුම් දහම් දහම් මඟ වඩින මහා සංඝ රත්නයේ සාමාජිකත්වය ලැබීම කොයි තරම් වාසනාවක් ද අම්මෙ?

මව :- සාදු…. සාදු…. මගෙ පුතාගෙ කැමැත්ත එසේම ඉෂ්ඨ වේවා!

පුතා :- පින්වත් අම්මේ, අප ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ ඒ මහඟු සම්බුදු පදවිය පවා ලබාගැනීමට ප්‍රථමයෙන් විවරණ ලැබුණේ තම දයාබර මැණියන්ගෙන්. මාතුපෝසක ජාතක කථා වස්තුවෙ අප මහා බෝසතානන් වහන්සේ දිනක් සිය දයාබර මෑණියන් සමග මුහුදු නැවක යාත්‍රා කරන අතරතුර යාත්‍රාව අනතුරකට පත්ව මුහුදේ ගිලෙන්නට නා. අප මහා බෝසත් විරුවාණන් සිය මව කරපිට තබාගෙන ඒ රුදුරු සාගරයේ තෙරක් බලා පිහිනන්ට වුණේ තම මෑණියන් ගලවා ගැනීමේ පරම චේතනාවෙන්.

මව :- ඔව් මගෙ රත්තරන් පුතේ, තම ආදරණීය මවගේ ජීවිතය බේරාගැන්මට ඒ රුදුර සාගර මාරයා සමග තම පෙම්බර පුත්‍ර රත්නය කරගෙන ගිය භයානක සටන දැක කම්පාවටත් හා මහා සංවේගයට පත් පින්වත් මවගේ මුවින් එකෙණෙහිම පිට වුණේ “පුතේ උඹ බුදුවේවා” යන හැඟුම්බර තමයි. පුංචි කාලෙ මම ඔය කතාව පුතාට කියල දෙනකොට ඔයා ඇස්දෙක ලොකු කරගෙන අහගෙන ඉන්න හැටි මට තාමත් මතකයි පුතේ.

පුතා :- ඉතින් මගෙ පින්වත් අම්මේ, මගෙ අම්මත් මට ඒ විදියටම ආශිර්වාද කරන්න. “සබ්බ දුක්ඛ නිස්සරණාය නිබ්බාන සච්ඡිකරණත්ථාය”….. මට අවසරයි මගෙ රත්තරං අම්මෙ.

මව :- දයාබර පුතේ, මම මගේ හද පත්ලෙන්ම නැගී එන මෙත් සිතින් මගේ රත්තරන් පුතාගේ කැමැත්ත ඉටු කරගැන්මට අවසර දෙනව. ඒ ශ්‍රේෂ්ඨ අරහත් ධජයට හිමිකම් කියන්නට පුතාට අවසරයි. මගේ රත්තරං පුතාට රත්නයට ත්‍රිවිධ රත්නයේම ආශීර්වාදය ලැබේවා!

පුතා :- ආශ්චර්‍යයි අම්මේ… ආශ්චර්‍යයි….! මට අවසරයි….. දෙවනුවත්, තෙවනුවත් අවසරයි….!

‘බුදුසරණ’ පුවත්පත ඇසුරෙනි. සංශෝධන සහිතයි.

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

දඹුල්ලේ ප්‍රශ්නයට බුදුරදුන් දුන් ආදර්ශය

                                                                                         පූජ්‍ය 
                                                                                         මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි 

පසුගිය දින ගණනාවේදීම "දඹුල්ල" පෙර නොවූ විරූ අයුරින් ලංකාව පුරා පමණක්‌ නොව ලෝකය පුරා කතා කරන මාතෘකාවක්‌ බවට පත් වී තිබුණේ පළමු සියවසට අයත් ඓතිහාසික අති පූජනීය ජාතික හා ශාසනික උරුමයක්‌ එහි නිමවී ඇති නිසා නොව, මෑතකදී එහි අනවසරයෙන් හා සදාචාර විරෝධීව ඉදිකරන ලද මුස්‌ලිම් අන්‍යාගමික මධ්‍යස්‌ථානයක්‌ නිසාය. මේ රට ලෝකයේ තිබෙන එකම සිංහල බෞද්ධ රටය. එය කවුරුන් හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුත්තේ පවතින සතයක්‌ නිසාය. මෙම සත්‍යතාවය විනාශකර දැමීමට ලෝකයේ බෝහෝ අනෙක්‌ රටවලට මෙන් ලංකාවටද බලපෑම් එල්ල වූයේ අද ඊයෙක සිට නොව. අතීත රජදරුවන් දවස එළාර ආක්‍රමණය, වළගම්බා රජු දවස සොළී-චෝළ ආදි පරසතුරු උවදුරු එල්ල වූ අතර ඒවා බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද සිදු විය. ක්‍රමිකව 1505 න් පසුව සිදු වූ ආක්‍රමණයන්ගේ අනිටු පලයන් ලෝකයේ අනෙක්‌ රටවල් වලට මෙන් ලංකාවට බලපෑමට කෙටි කාලයක්‌ ගත නොවීය. ආක්‍රමණිකයන්ගේ අතින් ගත් කල අද වන විට දිනෙන් දින, ටිකෙන් ටික ඒ ආක්‍රමණයන්ගේ පලයන් දීර්ඝකාලීන වෑයමක ප්‍රතිපලයන් ලෙස ඔවුන් භුක්‌ති විඳීමට පටන් ගෙන ඇත. එනිසාම අද වන විට සිංහලයන් සිංහලකමෙන් ඈත් වී "මුස්‌ලිම් සිංහලයන්" බිහි වී ඇත. මේ රටේ සියලූ සිංහලයන් බෞද්ධ විය යුතු නමුත් අද එසේ නොමැත. සිංහලයන් කතෝලික හෝ ක්‍රිස්‌තියානි පමණක්‌ නොව ඉස්‌ලාම්ද වී ඇත. සිංහල ජාතියත්, දේශයත්, සම්බුද්ධ ශාසනයත් විනාශ කිරීමේ නියෑලී සිටින්නවුන්ගේ අන්තවාදී, ආක්‍රමණකාරී, හා සදාචාර විරෝධී කූට මෙන්ම අති සූක්‍ෂම ක්‍රියාදාමයන් අවසන් මොහොතේදී අප දකින්නේ එම ක්‍රියාවේ ප්‍රතිපලය තුළිනි. එම සියලූ අන්තවාදයන් ගැන හෝ සියලු අන්තවාදීන් පිළිබඳ කතා කිරීමට මෙහි" අප වෙහෙස නොවන්නෙමු. ඓතිහාසික රංගිsරි දඹුල්ල පූජා භූමියේ උද්ගතව ඇති තත්වයද මෙවැනිම ප්‍රතිඵලයකි. ඉතා පැහැදිලි කරුණ නම් දිනෙන් දින ලංකාවේ භූමියේ අයිතිය නියමයෙන් හෝ අනියමෙන් මුස්‌ලිමුන් ඩැහැ ගනිද්දී ඊට සාපේක්‍ෂව උපත් පාලන නීතින හා විවාහ නීතින් සිංහලයන්ට පමණක්‌ සීමා වෙද්දී සිංහල ජාතිය සීඝ්‍රයෙන් වඳ වී යයි. ඒ අතරතුර අන්‍ය වාර්ගිකයන් සීඝ්‍රයෙන් බෝ වී යයි. 

මෙහි අති භයානකම සිදුවීම නම් ඔවුන් විසින් භූමියේ ආධිපත්‍ය ඩැහැ ගැනීම සිදු කරන්නේ ඓතිහාසික හා නොවන බෞද්ධ උරුමයද විනාශ කර දමමිනි. ඒ කියන්නේ තව දසක කිහිපයකින් මේ මිහි තලයෙන් සිංහල ජාතිය හා දේශය වඳ වී යද්දී බෞද්ධ පසුබිමද අතුගා දැමීමටයි. එනිසා වර්තමානය වන විට ඓතිහාසික බෞද්ධ උරුමයන් ආක්‍රමණය කොට විනාශ කර දැමීමේ එක්‌ කූට උපක්‍රමයක්‌ ලෙස සිය යාඥා මධ්‍යස්‌ථාන කිසිදු වග විභාගයකින් තොරව පූජාභූමි තුළ ඉදි කරනු ලබයි. මෙම අවදානම් කලාපයට ඓතිහාසික සිද්ධස්‌ථානයන් රැසක්‌ පත්ව ඇත. අනුරාධපුර මහමෙව්නාව, බලංගොඩ කූරගල පුදබිම, දෙවනගල රාජ මහා විහාරය, රිටිගල, දීඝවාපිය, කතරගම, පොතුවිල් මුහුදු මහා විහාරය ආදිය ඒ අතර වේ. එහි නවතම ගොදුර වූ දඹුල්ලට රිංගා ගත් මේ අන්තවාදීන් නානාවිධ කතා කියමින් අවම තරමින් සිංහලයන් සතු උතුම් මානුෂීය ගුණාංගයන් ගැන හෝ කිසිදු මායිමක්‌ නොකරමින් අවම සදාචාරාත්මක ගති ගුණයක්‌ හෝ නොපෙන්වමින් ජිනීවාවට මුවා වී රට, ජාතිය, සසුන වෙනුවෙන් පෙනී සිටින මහා සංඝරත්නය ප්‍රමුඛ ශාසනමාමක ජනතාවට ආගම්වාදීන්, ජාතිවාදීන් කියමින් පිනුම් ගසන්නේ සියලූම මුස්‌ලිම් දේශපාලූවන්ගේ හා මුස්‌ලිම් ලෝකයේ හයිය හිතට ගනිමිනි. රාජ රාජමහා මාත්‍යාදීන් මෙන්ම මහා යතිවරු තැනූ මේ පිං බිමේ සිට මෙහි සියලු සාරය උකහා ගනිමින් යෑපෙන ඔවුන්ට සිංහල බෞද්ධයාටම ෙද්‍රdaහී වෙමින් කටයුතු කරන්නට රිසි වීම නිසාවෙන්මය අප අසන්නේ අවම සදාචාරාත්මක ගුණාංගයක්‌ හෝ තිබෙනවාදය කියාය? 

"ගහෙන් වැටුණ මිනිහාට ගොනා අනිනවා" යෑයි අප ව්‍යවහාරයේ කියමනක්‌ ඇත. ඒ වගේම අද සිංහල බෞද්ධයාට මුහුණ දීමට ඇත්තේද එවැනිම තත්ත්වයකටයි. ඇතැම් විට ඊටත් එහා යමින් "කබලෙන් ලිපට වැටෙනවා" යෑයි කියාද ගත හැකිය. අපට සැමදාම අපේ අයිතීන් වෙනුවෙන් කෑ මොර දෙන්නට සිදු වේවි. දුක්‌ විඳින්නට සිදු වේවි, මේ වන විට දඹුල්ලේ උණුසුම හැල හොල්මනක්‌ නොමැතිව කෙමෙන් යටපත් වෙමින් ජන විඥානයෙන් බැහැර වෙමින් පවතී. පාලකයන් සුපුරුදු පරිදි අමතක කරදැමීමේ න්‍යාය අනුගමනය කරමින් සිටී. ඒ අතරතුර අප නිහඬව බලා සිටින්නේ අපට ලබාදුන් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන තෙක්‌ය. සමහර විට අපගේ නිහඬතාවය යමෙක්‌ පසු බැසීමක්‌ ලෙස සලකන්නේ නම් අප ඔවුන්ට සිහිපත් කර සිටින්නේ එය නිහඬතාවය නොව තියුණු විමසිලිභාවය බවයි.

ඉදිරි දිනවලදී මේ හා සම්බන්ධව මොන මොන අන්දමේ තීන්දු තීරණ ගනීවිදැයි කියා අප නොදනිමු. එම තීන්දු තීරණ බොහෝ වෙලාවට සිංහලයන්ට මෙන්ම බෞද්ධයන්ට අවාසි සහගත වන ඒවා මිස වාසි සහගත ඒවානම් නොව. ඒවා අප පවසන්නේ ඔවුන්ගේ අතීත අත්දැකීම් හා වත්මන් ක්‍රියා පිළිවෙත් දැක දැකය. අකාලික වූ බුදුන්ගේ ධර්මය මේ සෑම ගැටලූවක්‌ විෂයෙහිම විසඳුම් ලබා දෙන අතර "අද දඹුල්ලට එදා බුදුරදුන් දුන් විසඳුම" මොනතරම් නම් ප්‍රායෝගික වූවක්‌ද යන්න "භරු" ජාතක කතාව තුළින් මැනවින් පැහැදිලි වේ. එපමණක්‌ නොව බුදුරජාණන් වහන්සේ අන්‍යාගමික මධ්‍යස්‌ථාන බෞද්ධ පුදබිම් ආශ්‍රිතව ඉදිකිරීමේදී දක්‌වන ලද ආකල්පය මෙහිදී ඉතා පැහැදිලිය. අද අපේ රටේ ජනාධිපතිතුමන් ඇතුළු පාලක කාරකාදීන්ට මුර දේවතාවුන් වහන්සේලා වූ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා හෝ මැදිහත්වීම්වලට ඇහුම්කම් දිය නොහැකි නම් තුන්ලෝක්‍රාග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ නියමය හෝ පිළිපදිනු ඇතැයි යන අදහසින් මේ සටහන තැබීමේදී 'භරු ජාතකය' පාදක කරගත්තේය. 21 වන සියවසයේ ජීවත් වන අපට මුහුණ දීමට සිදුව ඇති වත්මන් අර්බුදයන් හමුවේ සැබවින්ම ධර්මයේ ඇති අකාලික ගුණය මැනවින් ප්‍රකට කරමින් එදාට මෙන්ම අදටත් විසඳුම් එදා ලබා දුන් සැටි ඉතා අපූරුය. රට කරවන්නවුන්ට රට දැහැමෙන් සෙමෙන් කිරීම සඳහා ලෝකයේ කිසිදු ජගතෙකුට ලබා දිය නොහැකි තරමේ සියලූ ඉගැන්වීම් බුද්ධ දේශනවා තුළ පවතිද්දී ඒවා තුට්‌ටු දෙකකටවත් මායිම් නොකරමින් අන්තිමේදී බුදු දහමට නියමයෙන් හා අනියමෙන්ද එරෙහි වෙති. එවන් තත්ත්වයක්‌ මත බුද්ධ දේශනාව පාදක කරගැනීමක්‌ පිළිබඳ කතා කිරීමද එක්‌a අතකට විහිළුවක්‌ය. 

කෙසේ වෙතත් අද දඹුල්ල ප්‍රමුඛව බෞද්ධ සිද්ධස්‌ථානයන්ට අත්ව ඇති ඉරණමට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් ලබා දෙන එකම විසඳුම පහතින් දක්‌වා ඇති භරු ජාතකයයි. ජාතක පොත් වහන්සේගේ 212 වන ජාතක කතාව භරු ජාතකයයි. 


භරු ජාතකය

තවද කරුණානිධාන වූ මාගේ ස්‌වාමිදරුවූ සර්වඥයන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කෝසල රඡ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්‌වන ලද. 

ඒ කෙසේද යත්.

සර්වඥයන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ලාභයෙන් යසසින් වැඩි දවස්‌ අරින සේක. එසමයෙහි තීර්තකයෝ ලාභසත්කාරයෙන් පිරිහී සිතන්නාහූ ශ්‍රමණ භවත් ගෞතමයන් හා ශ්‍රාවකයන්ගේ ලාභසත්කාර මහත අපට නැත. ලාභසත්කාර මහත්වන්නේ ඡේතවනාරාමයෙහි භුමිවිශේෂය කැයි කියා සිතාගෙන අපටත් එතන තීර්ථකාරාමයක්‌ ඉදිකොටගෙන වාසය කරන්නට වුවමැනවයි සිතා රඡ්ජුරුවන්ට නොකියා කළමෝනම් භික්‌ෂූහූ කළ නොදෙති සිතා රඡ්ජුරුවන්ට අත්ලසක්‌දී ලබ්බවාගත තනම්හයි සිතා තීර්තකයෝ එක්‌ව මසුරන් ලක්‌ෂයක්‌දී කියන්නාහු මහරඡ්ජුරුවෙනි ඡේතවනාරාමය කෙරේ තීර්ථකාරාමයක්‌ කරවන්නා අභිප්‍රාය ඇත්තම්හ, භික්‌ෂූන් ඇවිත් රඡ්ජුරුවන්ට කී කළ රඡ්ජුරුවන් ඊට අවුලක්‌ නොකියන්නේ යහපතැයි කී යන්නා ගිවිස්‌සාහ, තීර්ථකයෝ බොහෝ වඩුවන් ඇරගෙණ ඡේතවනාරාමයට පිටිපස්‌සේ කරණ බොහෝ අරගල අසා ආනන්දය මේ කුමන අරගලයක්‌දැයි විචාරා එපවත් අසා ආනන්දය භික්‌ෂූ සංඝයා රැස්‌කරවයි කියා සංඝයා වහන්සේ රැස්‌කරවා මහණෙනි, තොප ගොස්‌ රඡ්ජුරුවන්ට කියවයි කියන්නේ යහපතැයි කියා භික්‌ෂූන් වහන්ස රැස්‌ වී රඡ්ජුරුවන් කරා ගොස්‌ රඡ්ජුරුවන්ගේ වාසල සිට එපවත් කියායවු සේක. 

රඡ්ජුරුවෝ තමන් කියන්නට උත්තරයක්‌ නැති හෙයින් ගෙයි නැතැයි කිවුහ. භික්‌ෂූන් වහන්සේ විහාරයට ගොස්‌ එපවත් සර්වඥයන් වහන්සේට සැලකළ සේක. සර්වඥයන් වහන්සේ රඡ්ජුරුවෝ අල්ලස්‌ කා මෙසේ කරති සිතා පසුව දවස්‌ දෑගසව්වන් යවන්නැයි වදාළ සේක. දෑගසව්වන් වහන්සේ දොරකඩ සිට රඡ්ජුරුවන්ට කියන්නේ එවිට රඡ්ජුරුවෝ ගෙයි නැතැයි කියූහ. පසු දවසේ සර්වඥයන් වහන්සේ පන්සියයක්‌ රහතුන් වහන්සේ පිරිවරා රජගෙට වැඩිසේක. එවිට රඡ්ජුරුවෝ උඩුමාලෙන් බැස සර්වඥයන් වැඳ පාත්‍රය අතට ගෙන බුදුන් රජගෙට වඩා ගෙනගොස්‌ වළඳවා අවසානයෙහි එකත්පස්‌ව උන්නාහ. එවිට සර්වඥයන් වහන්සේ වදාරන සේක මහරජ අල්ලස්‌ බලයෙන් තාපසවරුන් දෙපසක්‌ ගස්‌වා පෙරත් රජ දරුවෝ බොහෝ විනාශයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්‌වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රඡ්ජුරු කෙණෙකුන් රාඡ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාලය වනයෙහි තාපසව, පන්සියයක්‌ තාපසවරුන්ට නායකව වාසය කරන්නේ වස්‌ කාලයෙහි ඒ ඒ තැන සැරිසරා වඩිනාසේක. බරණැස්‌ නුවරට වැඩ නුවර සිඟා උතුරුදිග වාසලින් පිටත්ව ඒ වාසල සමීපයෙහි නුගගසක්‌ මුල වාසය කරන්නාහ. එසමයෙහි අනිකුත් පන්සියයක්‌ තාපසවරුන් ලුනු ඇඹුල් සොයනා පිණිස බරණැස්‌ නුවරට අවුත් ඒ තාපසවරු නුවර වටේම ගොස්‌ සිඟා දකුණු වාසල සමීsපයේ නුගගසක්‌ මුල වාසය කරන්නාහ. මේ නියායෙන් තාපසවරු වස්‌සාන කාලයෙහි එහි වැස හිමාලය වනයට ගියාය. දෙවන අවුරුද්දේත් එම නුවරට එන අවස්‌ථාවට දකුණු දොර වාසල සිටි නුගගස දිරාපත් වී වැටිණ. දකුණු දොර වාසල පළමු අවුරුද්දේ උන්නාවූ තාපසවරු තමන් උන් නුගගස වැටුණු හෙයින් උතුරු දිග වාසල නුග ගසමුල ඉන්ට වන්නාහ. එසමයට උතුරුවාසල නුගගස මුල උන්නාවූ තාපසරු ඒ නුවරට අවුත් තමන් පළමු උන් නුගගස කරා ගියහ. මේ කියන තාපසවරුන් යන්නට පළමු අනිත් තාපසවරු මේත් තමන් උන්නු හෙයින් අප පළමු මුරයේ උන් නුගගස මුල උන්නේ කවර නිසාදැයි කියා උන් හා දබර කළාහ. මේ කියන තාපසවරුන් අපි පළමුකොට සිටිය හෙයින් අපි නුග ගසමුල නාරිම්හයි කියා රණ්‌ඩු කළහ.. මේ නියායෙන් දෙපක්‌ෂයේ ඇත්තෝම දබරකොට එපවත් රඡ්ජුරුවන්ට කීහ. රඡ්ජුරුවෝ එපවත් අසා පළමුකොට උන් තාපසවරුන්ටම අයිතියෑයිs කීහ. එබස්‌ අසා අනික්‌ තාපසවරු සමූහය පළමු චක්‍රවර්ති රඡ්ජුරුකෙණෙකුන් රාඡ්ජය කළාවූ රණ මැදිරියෙක්‌ රඡ්ජුරුවන්ට අල්ලස්‌කොටදී රඡ්ජුරුවනි අපගේ වාසස්‌ථානය අපට සලස්‌වයි කීහ. ඊටත් රඡ්ජුරුවෝ ගිවිස්‌සාහ, එවිට තාපසවරු උනුන්ලා බොහෝ අඬදබර කොට අන්තයෙහි සිතන්නාහූ අපි ගිහිගෙය හැර මහණවුවන් විසින් කළ සේ නපුරැයි සිතා එතනින් වහා හිමාලය වනයට ගියහ. 

දේවතාවෝ මෙතෙක්‌ තාපසවරුන්ට අඩදබර කළාවූ මේ රඡ්ජුරුවෝ වේද මේ රඡ්ජුරුවන්ගේ නුවර නසම්වයි සිතා මහමුහුද අල්ලා මහත්වූ වතුරක්‌ එවා ඒ තුන්සියයක්‌ යොදුන් නුවර වැනසූහ යෑයි වදාරා රඡ්ජුරුවෙනි එක්‌ රඡ්ජුරුවන් කළාවූ අධර්මයක්‌ නිසා බෝහෝ මනුෂ්‍යයෝ නසිනලද්දාහූ එසේ හෙයින් ඡන්දාදිව ශයෙන් අගතියට යාම යහපත් නොවෙයි කියා රඡ්ජුරුවන්ට සර්වඥයන් වහන්සේ අවවාද කොට භරු ජාතකය නිමවා වදාළ සේක. කෝසල රඡ්ජුරුවෝ මේ ධර්මදේශනාව අසා තීර්ථකයන්ගේ ආරාම බිඳවාලුහ. 

මෙහි එන කතා පුවත හා වත්මන් පාලකයන්ගේ හැසිරීම හා සම්බන්ධව අටුවා, ටීකා, ටිප්පනී, අනවශ්‍ය යෑයි හඟිමි. මන්ද ඒ ඒ පුද්ගලයාගේ සිතීමේ හා විමසීමේ ශක්‌තිය අනුව බෝහෝ දෑ මේ තුළින් තේරුම් ගැනීමට හැකි වෙන නිසාය. කෙසේ වෙතත් අද මෙන්ම බුදුරදුන් දවස වගේම ඉන් ඔබ්බටත් කාලයෙදී අල්ලස්‌ ගෙන මිථ්‍යාදෘෂ්ටිය වැපිරීමට සාමාන්‍ය මිනිසුන් පමණක්‌ නොව රජවරුන් පවා කටයුතු කොට ඇත. එනිසා අද දඹුල්ල ගැන අප පුදුම විය යුතුද නැත. රාජ්‍ය නායකයන් ඇතැම් විට මුදලින් අල්ලස්‌ ගෙන නැති වුවත් මානසික අල්ලස්‌ ගෙන සිය බලය තරකර ගැනීමට සුළුතර මනාප ටිකක්‌ බලාපොරොත්තුවෙන් නොයෙක්‌ පාවාදීම් ජාතික මට්‌ටමින් හා ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කිරීමද අල්ලස්‌ ගැනීමකි. එදා කොසොල් රජතුමා අල්ලස්‌ ගෙන මහා සංඝරතනයට මුහුණ නොදී සිටියා සේ අද මේ රටේ අති බහුතර සිංහල බෞද්ධයාගේ අයිතිය අභියෝගයට ලක්‌ වෙද්දී සිංහල බෞද්ධ මනාපයෙන්ම රජකම් සිදු කරන පාලකයෝ ඇටි කෙහෙල් කාපු උගුඩුවන් සේ මුනිවත රකිති. 

බෞද්ධ අයිතියට හානි සිදු කිරීම රජකම් පවා අහිමි වීමට පමණක්‌ නොව බොහෝ හානිවලට මුහුණ දීමට ඉවහල් වන බව බුදු රදුන් විසින්ම භරු ජාතකයේදී පෙන්වා දී ඇත්තේ කොසොල් රජතුමාට එක්‌තරා ආකාරයක අනතුරු ඇඟවීමක්‌ මතක්‌ කර දෙමිනි. එනිසා අද අපට සුවිශේෂී සංසිද්ධියක්‌ එහිදී මතක කර දී ඇත. එදා සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් විසින්, සිදු වූ අපරාධය දරාගත නොහැකිව කම්පා වී මහ මුහුද කළඹවා ජල කඳක්‌ එවා මුළු පෙදෙසම විනාශ කරදැමීsය. මේ අනුව සුනාමිය පිළිබඳ අත්දැකීම අපට මීට අවුරුදු 6-7 කට කලියෙන් දැනුනද එදා බුදුදහමට වින කටින විට මේ විශ්වය කම්පා වී හැසිරුණ ආකාරය මෙයින් පැහැදිලිය. අද මේ තරම්ම දුෂ්ට හා අධර්මිෂ්ට සමාජ පරිසරයක්‌ තුළ එසේ සිදු නොවේයෑයි කිව හැක්‌කේ කාටද? එනිසා එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් මේ රටේ යමෙක්‌ යම් සුවදායි අයුරකින් වෙසෙන්නේද ඒ අන් කිසිවක්‌ නිසා නොව බුදුරදුන්ට පිදූ මේ පිං බිම තෙවරක්‌ම බුදුන්ගේ පහස ලද නිසාවෙන් හා ශ්‍රී දළඳා සමිඳුන් වැඩ සිටින නිසා මෙන්ම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පහස නිසාය. එනිසා යමෙක්‌ නියමයෙන් හෝ අනියමෙන් බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් එදිරිවාදිකම් සිදු කරන්නේ නම්, හේ තමන්ගේ පැවැත්ම උදෙසාද වළ කපා ගැනීමක්‌ බව තරයේ සිහිතබා ගත යුතුය. එසේ නොවුනහොත් යහපත් හික්‌මීමක්‌ ඇති පුද්ගලයන්ගේ ආනුභාවයෙන් අයහපත් ගති ඇත්තවුන් යහතින් සිටින්නා සේ අයහපත් ගති ඇත්තවුන්ගේ දුර්ගුණයන් බහුල වී බලවත් වීම නිසා යහපත් ගති ඇත්තවුන්ගේ විනාශයද කඩිනම් කරනු ඇත. 

එදා කොසොල් රජතුමන් මොනතරම් බුදුන් වහන්සේට ලෙන්ගතු වුවද ධනයට ලෝභ වී අන්‍යාගමිකයන්ගෙන් අල්ලස්‌ ගෙන බුදු සසුනට වින කරන්නට යාම අවසනදී මග හැරී ගියේ ඡේතවනාරාම භූමියෙන් අන්‍යාගමික මධ්‍යස්‌ථානය ඉවත් කිරීමෙනි. ඒ හැර ඒ සඳහා වෙනත් විකල්පයක්‌ නොමැත. මේ බව මේ රටේ සම්‍යග් දෘෂ්ටික යෑයි කියන්නාවු පාලකයන් සිහිතබාගෙන සියලු ආකාරයෙන් මිථ්‍යාදෘෂ්ටිය ව්‍යාප්ත වීම පිළිබඳ නිසි අවධානය යොමුකළ යුතුය. එසේ නොවුනහොත් කාගෙන් නැතත් සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් කොහේ හෝ සිට බැල්ම යොමුකරමින් හෙලන අකුල්වලින් නම් කිsසිදු ගැලවීමක්‌ නැති වේවි. මොන විදියේ අල්ලස්‌ ගෙන ඒ තුළින් වැජඹෙන්න උත්සාහ කළද දේව උදහසින් නම් ගැලවීමක්‌ නොමැති බව භරු ජාතක කතාවෙන්ම පසක්‌ කරන්නේය. එමෙන්ම අන්‍යාගමිකයන්ද ඇතැම් විට භූමියේ වාසනාවක්‌ ඇතැයි සිතා බෞද්ධ පුදබිම් තුළම එදා තීර්ථකයන් සේ ආගමික මඩු ඉදිකරන්නට තැත් කරන්නේ නම් එයටද සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන්ගේ අවධානයෙන් නිසි පිළිතුරු ලබා දෙනු ඇත. එමෙන්ම භූමියේ වාසනාව නොව ධර්මයේ සත්‍යතාවේ ආනුභාවය අකමැත්තෙන් නමුදු වටහා ගන්නා මෙන් ඇරයුම් කර සිටිමු.

Posted by මුරගල බෞද්ධ කණ්ඩායම.

Extracted from an email [ Dharma Dveepa / dharmadveepairanama (at) yahoo (dot) com>]

Saturday, May 12, 2012

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්‌ ද?

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 
අප කළ යුත්තේ කුමක්‌ ද?

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්

පසුගිය වසරේ වෙසක්‌ පොහෝ දිනට මෙතෙක්‌ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යත්වය හා දේවත්වය මෙන්ම බ්‍රහ්මත්වය ද ඉක්‌මවා මනස දියුණු කරගෙන බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සපිරුණි. එය අපි 2600 සම්බුද්ධත්ව ජයන්තිය නමින් හැඳින්වීමු. මේ වසරේ වෙසක්‌ පොහොය දක්‌වා වර්ෂය සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නමින් ද ප්‍රකාශයට පත් කෙරිණි. "2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු" යන පාඨය සහිත තොරණ බැනර් ආදිය රට පුරා ප්‍රදර්ශනය වීමට ද යොදනු ලැබීය. එහෙත් එහි අර්ථය හෝ වැඩි දෙනා නොදනිති. සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සම්මන්ත්‍රණ, සාකච්ඡා, උත්සව, පිංකම් ආදිය ද රට පුරා සිදු කෙරිණි. අදත් සිදු වෙයි. බුදු උපත බුදුවීම හා උන්වහන්සේගේ පිරිනිවීම සිදුවූ වෙසක්‌ පොහෝ දිනය ලෝකයේ සියලුම බෞද්ධයන්ට වැදගත් වන දිනයකි. ඒ අතර ශ්‍රී ලංකාවාසීන්ට එම දිනය මෙන්ම 2600 සම්බුද්ධත්ව ජයන්තිය ද විශේෂ වශයෙන් වැදගත් වන කරුණු කීපයක්‌ ඇත.

මීට වසර 2600 කට පෙර බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවී නව වැනි මාසයෙහි එනම් දුරුතු පුරපසළොස්‌වක පොහොය දා පළමු වරට අපේ රටේ මහියංගනයට වැඩම කළහ. එදා සිටි පිරිසට දහම් දෙසා උන්වහන්සේ ඔවුන්ට හරි මඟ පෙන්වා දුන්හ. එම දහම් හමුවෙහි දී තවත් කොපමණ පිරිසක්‌ ධර්මාවබෝධය ලැබුවාදැයි නොදනිමු. එහෙත් සුමන නම් දේව ගෝත්‍රිකයා බුදු බණ අසා සෝවාන් ඵලයට පැමිණ පසුව සුමන සමන් දෙවි යන නමින් මෙරට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මේ කරුණු සිදු වූයේ මීට වසර 2600 කට පෙර බැවින් මෙම සම්බුද්ධත්ව ජයන්තිය අපට අතිශයින්ම ඓතිහාසික වැදගත් සන්ධිස්‌ථානයකි.

ගෞතම බුදුන් වහන්සේ තුන්වැනි වර ලක්‌දිවට වැඩම කළේ බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දෙහි කැලණි පුරවරයටයි. පළමු හා දෙවැනි වර අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේගේම කැමැත්තෙන් වැඩම කළ අතර කැලණියට වැඩම කළේ එදා එම ප්‍රදේශයෙහි ප්‍රධානියාව සිටි මණිඅක්‌ක නම් නාග ගෝත්‍රිකයාගේ ආරාධනාවෙනි. අපේ රටේ කෙනෙකුගේ ආරාධනාවෙන් වෙසක්‌ පුන් පෝ දිනක බුදුරජාණන් වහන්සේ අපේ රටට වැඩම කිරීම වෙසක්‌ පොහොය අපට විශේෂ වැදගත් කමක්‌ ඇති දිනයක්‌ බවට පත් වීමට හේතු භූත වූ කරුණකි.

ඓතිහාසික වශයෙන් තවත් වඩාත් වැදගත් වන කරුණක්‌ ද ඇත. එනම් බුද්ධත්වය ලබා සත් සතිය ගත කරද්දී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තපස්‌සු භල්ලුක යන සහෝදර වෙළෙඳුන්ට පූජා පැවැත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු රැගෙන ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලයට උතුරින් කඳු මුදුනක දාගැබක්‌ හදා එහි නිධන් කර තැබීමයි. එම දාගැබ අද අපි ගිරිහඩු සෑය නමින් හඳුන්වමු. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය දීම උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර මෙහි මිහිපිට තැනූ එකම දාගැබ මෙන්ම පැරණිතම දාගැබ ගිරිහඩු සෑයයි. එය සිදුවූයේ ද මීට වසර 2600 කට පෙරයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජන්ම භූමියෙන් එනම් දඹදිවින් බැහැර වැඩම කළ එකම රට ශ්‍රී ලංකාව වන අතර උන්වහන්සේ තුන් වතාවක්‌ම මෙරටට වැඩම කිරීමෙන් අප කෙරෙහි දැක්‌වූ අනුකම්පාව අපි හැමදාම සිහි කළ යුතු ඓතිහාසික කරුණකි. බුදු වී 2600 වසරක්‌ ගත වන අවස්‌ථාවෙහි පමණක්‌ නොව එම බුද්ධාගමනයන් අප හැම විටක සිහිකළ යුතු වෙයි. සිහි කරමින් උන්වහන්සේගේ චරිතය හා දෙසූ දහම අනුව යමින් උතුම් වූ බුද්ධාශිර්වාදය ලබා ගැනීම අපට කළ හැකි අප කළ යුතු දෙයකි. බුදු බලය තරම් අපට ආශිර්වාද ලැබෙන වෙනත් කිසිදු බලයක්‌ නොමැති බව ද මෙහි දී කිව යුතුය.

බුද්ධාශිර්වාදය ලැබූ අප මවුබිමෙහි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් බුදුදහමට අනුගතව දිවි මඟ සකසා ගත් අපේ මුතුන් මිත්තෝ මේ බිම ධර්මද්වීපයක්‌ බවට පත් කළහ. එපමණක්‌ නොව පෙරදිග ධාන්‍යාගාරය මෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලැබීමට සමත් වූයේ ද බුදු දහම නිසාමයි. 2600 වසරක්‌ තිස්‌සේ අප රට වැසියන්ගේ මනස පෝෂණය කළ ඒ බුදු මඟ අපගේ මාතෘ භූමිය ස්‌වයං පෝෂිත රටක්‌ ලෙස පැවතීමට හේතු වූ බව රටවැසි හැම දෙනාම පිළිගත යුතු කරුණකි. මේ සියලු කරුණු නිසා එදා මෙන්ම අදත් මේ රට බෞද්ධ රටක්‌ ලෙස ලෝකය තුළ තහවුරු වී ඇති බව ද සත්‍යයකි. එසේ තහවුරු කළේ සිංහලයන් බව ද පිළිගත යුතු සත්‍යයකි.

අද මේ රට තුළ අසිංහල අබෞද්ධ ජනතාව ද වෙසෙති. ඔවුන්ට ඔවුන්ගේ කටයුතු කරගෙන යැමට සිංහල බෞද්ධයන්ගෙන් කිසිදු බාධාවක්‌ නොමැත. එහෙත් ආක්‍රමණශීලීව බෞද්ධ හා සිංහල උරුමයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ අසාධාරණයන් බව පෙන්වා දීමත් ඊට එරෙහිව නැඟී සිටීමත් සිංහල බෞද්ධයන් විසින් කළ යුතු දෙයකි. එසේ ක්‍රියාත්මක වන විට ජාතිවාදීන් හෝ ආගම්වාදීන් ලෙස සිංහල බෞද්ධයන්ට එරෙහිව කරුණු කියන, නැඟී සිටින අය ශීලාචාර මිනිසුන් නොවන බව කිව යුතුය.

2600 වසරක්‌ තිස්‌සේ මෙරට වැදගත් ශිෂ්ටාචාරයක්‌ ආරක්‍ෂා වී තිබේනම් එය එසේ වූයේ බුදු මඟ පදනම් කර ගෙනයි. එම ශිෂ්ටාචාරයට හානි සිදු වූයේ බුදු මඟෙන් ඈත්වීම නිසයි. තවත් පැහැදිලිව කිවතොත් අන්‍යාගමික අන්‍ය සංස්‌කෘතික බලපෑම් තර්ජන හා මර්දන නිසයි. එය මෙරට පුරවැසි මෙන්ම සත්‍ය ගරුක ලෝ වැසි හැම කෙනෙකු විසින්ම පිළිගත යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකාවෙහි ඉපදී ශ්‍රී ලංකා පුරවැසිකම හිමිකරගත් සියලු දෙනා විසින්ම තම මවුබිමේ ඉතිහාසය දැනගත යුතු අතර එම ඓතිහාසික උරුමයන්ට ගරු කළ යුතු ද වෙයි. එහෙත් අද එය දෙමළ හා මුස්‌ලිම් අය විසින් පමණක්‌ නොව ඇතැම් සිංහලයන් විසින් ද ගරු නොකරන දෙයක්‌ බවට පත් වී ඇත. බහුජාතික හා බහුආගමික සංකල්පයක්‌ ඉදිරිපත් කරගෙන මේ රටේ උරුමයන්ට හානි පමුණුවන වැඩ පිළිවෙළක්‌ තදින්ම ක්‍රියාත්මක වෙයි. එය කිසිසේත්ම වැදගත් සංකල්පයක්‌ නොව බහුබූතයක්‌ පමණි. රටක ඉතිහාසය පුරා පැවත එන උරුමයන් පදනම් කරගත් අනන්‍යතාව එම රටේ වැදගත් කමයි. 2600 වසරක්‌ තිස්‌සේ පැවත එන එම උරුමයන්ට ගරු නොකරන විට ඊට එරෙහිව කටයුතු යෙදෙන විට රටේ වැදගත්කම ද නැතිවී යයි.

මෙම සත්‍යය දන්නා ඊට ගරු කරන සිංහල බෞද්ධයන් මෙන්ම කතෝලික මුස්‌ලිම් හා දෙමළ සත්පුරුෂයෝ ද සිටිති. එහෙත් ජාතිවාදය හා ආගමික අන්තවාදය පදනම් කරගෙන සිතන මතන ක්‍රියා කරන ඒ අනුව බලය බෙදීමට වැර වෑයම් කරන මිනිසුන් නිසා 2600 ක උරුමයට බලවත් තර්ජන එල්ල වී ඇත. ඔවුන් අතර අන්‍ය ජාතික අනාගමිකයන් පමණක්‌ නොව සිංහලයෝ ද නරක බෞද්ධයෝ ද සිටිති.

මෙරට අනන්‍යතාව හා උරුමය දැන එය අතිශයින්ම අගය කළ කෙනෙකි මර්සලින් ජයකොඩි පියතුමා. එතුමා ඒ බව කවියෙන් පැවසුවේ මෙසේය.

උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත්
වෙහෙරෙන් සුදු වී ඇත නංවා කොත්
යම් විට යම් කොත් සුන් වී ඇත හොත්
යළි නංවන තුරු කන්න එපා බත්

වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන්
බැලු බැලු හැම තැනක වෙහෙරක්‌ පෙනීයන්
ඉන් දෙන පණිවිඩය සවනට දැනීයන්
දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්

මෙවැනි උතුම් අදහස්‌ ඇති රටේ අනන්‍යතාව පිළිගත් ඊට ගරු කරන තවත් අය ද නැත්තේ නොවේ.

එහෙත් අද මෙරට පුරවැසි බව ජන්මයෙන්ම ලබා ගත් මුස්‌ලිම්වරු ලෝකයේ වෙනත් මුස්‌ලිම් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකති. පසුගිය දා ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂව අරාබි රටවල් ඡන්දය දීම ගැන ඔවුන් හඬ ගා කියන්නේ අපේ රටවල් එසේ ඡන්දය දුන්නාය කියලයි. මෙරට පුරවැසියන් ලෙස සිටිමින් මුස්‌ලිම් ආගමිකයන් සිටින වෙනත් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකා තමන්ට උවමනා දේ කර ගැනීමට එම රටවල බලපෑම් හා සහයෝගය ලබා ගැනීමට ක්‍රියා කිරීම මෙන්ම සිතීම ද බලවත් වරදකි. එවැන්නන් සිටින විට රටක්‌ දියුණු කළ නොහැක. රටේ සමගිය ඇති නොවේ. ඒ බව මුස්‌ලිම් සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂයෙන් මුස්‌ලිම් දේශපාලකයන් තදින්ම සිතට ගත යුතුය.

මෙහි පුරවැසිකම ඇතිව සිටින දෙමළ ජනයා ද මෙරට වැසියෝය. එම දෙමළ ජනතාව තමන්ගේ ජනතාව ලෙස සලකමින් බහුතර දෙමළ ජනගහනයක්‌ සිටින තමිල්නාඩුවේ දෙමළ නායකයන්ට හෝ ඉන්දීය ආණ්‌ඩුවට ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ නැත. මෙරට දෙමළ දේශපාලකයන්ට ද දෙමළ ජනයා වෙනුවෙන් වෙනම බලතල හෝ ඊළමක්‌ වෙනුවෙන් කතා කිරීමට ක්‍රියා කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැත. එහෙත් ඔවුහු ඒ දේ කරති. එය මෙරට වැසියන්ගේ සමගියට හා දියුණුවට ද බරපතළ බාධාවකි.

මෙම කරුණු ඉතා හොඳින් විමසා බලා සිහි නුවණින් යුතුව රටේ අනන්‍යතාව රැකගැනීමට ක්‍රියා කිරීම රටේ අනන්‍යතාවට ගරු කරන සත්‍ය ගරුක මෙරට වැසි හැම දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය. විශේෂයෙන් සිංහල බෞද්ධ පැවිදි ගිහි නායකයන්ගේත් දේශපාලකයන්ගේත් ප්‍රබල වගකීමක්‌ වන්නේය. එම වගකීම සිතට නොගෙන දේශපාලන බලය අරමුණු කරගෙන හෝ වෙනත් කරුණක්‌ නිසා හෝ විදේශ බලවේග වලට නතු වී ක්‍රියා කළහොත් 2600 වසරක්‌ තිස්‌සේ අප සතුව පැවත එන අපේ උරුමය අපේ ශිෂ්ටාචාරය හා රටේ අනන්‍යතාව වැනසී යන්නේය. ඊට ඉඩදුන්නොත් එම විනාශය සිදු කළ අය ලෙස අනාගතයේ දොස්‌ පැවරෙනු ඇත්තේ විජාතිකයන්ට හා විදේශිකයන්ට පමණක්‌ නොව මෙරට සිංහල බෞද්ධයන්ටත් සමඟයි. රටක්‌ හා ජාතියක්‌ වශයෙන් මෙන්ම උතුම් ශිෂ්ටාචාරයක්‌ දීර්ඝකාලයක්‌ තිස්‌සේම රැකගත් භූමියක්‌ වශයෙන් ද ඉදිරියටත් මැනවින් පැවතීමට නම් 2600 වසරක උරුමය මත පිහිටා අප ක්‍රියා කළ යුතුව ඇත. එයයි අපගේ අනුල්ලංඝනීය වූ කාර්ය භාරය වන්නේ. පිය උරුමය දැන ඒ අනුව ක්‍රියා කිරීම විනාශ නොවී පැවතීමට හේතු වන බව බුදුරජාණන් වහන්සේ ද (චක්‌කවත්ති සීහනාද සූත්‍රයෙහි) දේශනා කළහ. 

Extracted from an email [Sunil Perera / voice_of_army (at) yahoo (dot) com]

සම්මා කම්මන්තය යහපත් කර්මාන්ත ලෙස අර්ථ දැක්වීම දහම නැසීමකි

අපි පසුගිය දිනයේ සැමරුවේ 2601 වෙනි වෙසක් පෝය දිනයයි. එම පෝය ලබන මොහොත වන විට දහම් දිවයින තුල දහමේ ඉරණම ගැන අපගේ හදවත නැවතෙන තරම් කම්පනයක් ඇති වූයේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිළි කරමින් හයිලෙවල් මාර්ගයේ ඉසිපතන හංදියේ පටන් එල්ලා තිබූ බැනර් දැකීමෙනි. ඒවාට අනුව ඉතාම සෝචනීය ලෙස අර්ථ දක්වා තිබුනේ සම්මා කම්මන්තයයි. වරහන් තුල තේරුම ලෙස යොදා තිබුනේ යහපත් කර්මාන්ත ලෙසයි.

සහමුලින් වැරදි අර්ථ කථනයකි. කය සිල්වත් කර ගැනීම පිණිස අවැසි යහපත් කායකර්ම තුන මෙහි නියම අර්ථයයි. එනම්
  1. පර පණ නැසීම
  2. සොරකම් කිරීම
  3. කාමයේ වරදවා හැසිරීම
යන වැරදි තුනෙන් වෙන් වීමයි.

මොනම ආකාරයකවත් කර්මාන්ත මේ තුනෙන් අදහස් නොවේ. බුදු සමයේ මූලික හරයන් මෙවන් දරුණු විකෘති කිරීම වලට ලක්වූවොත් නුදුරු අනාගතයේම එහි විපාක අපිට විඳින්නට සිදුවනු ඇත.

අභිධර්මයට අනුව මෙම ශීල තුන රැකීමේ බලය සිතේ ඇති කරණු ලබන්නේ කුසල චෛතිසිකයක් විසිනි. 52ක් වූ චෛතිසික අතරින් එයට විරති සම්මා කම්මන්ත චෛතිසිකය යැයි කියනු ලැබේ. තමා අතින් ප්‍රාණ ඝාතයක් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔබේම සිතින් ඔබව වැලකුවේ නම් එහිදී මෙම චෛතිසිකය ඉපදුන බව තේරුම් ගත හැක. සොරකම් කිරීමට සිතක් ඇතිවී, කයින් එය සිදුවීමට පෙර නැවත සිතේ බලයෙන් එය වැලකී ගියානම් එහිදී මෙම චෛතිසිකය ඉපදුන බව තේරුම් ගත හැක. කාමයේ වරදවා හැසිරීමට සැරසී එය කයින් එය සිදුවීමට පෙර නැවත තමාගේම සිතේ බලයෙන් වලක්වා ගත්තේ නම් නම් එම අවස්ථාවන්හීද එම බලය ඔබට ලබා දුන්නේ මේ විරති සම්මා කම්මන්ත නම් බලසම්පන්න කුසල චෛතිසිකයයි.

තවත් බැනර් එකක සම්මා දිට්ඨිය ට ද මේ අවාසනාවන්ත ඉරණමම අත් කර තිබුණි. එහි සඳහන් වූයේ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් ගැන හා ඒවායේ විරුද්ධ කුසල් ස්වභාව ගැන දැන ගැනීම සම්ම දිට්ඨිය බවයි. අතිශය දුර්වල හා වැරදි අර්ථ කථනයකි.

සම්මා දිට්ඨිය හෙවත් නුවණ (ප්‍රඥාව ) ආකාර දෙකකින් විස්තර කෙරේ.
  1. දශ වස්තුක සම්මා දිට්ඨිය (කරුණු 10ක් ගැන නුවණ )
  2. චතුසත්‍ය සම්මා දිට්ඨිය මේ දෙකයි. (චතුරාර්‍ය සත්‍ය ගැන නුවණ )
අංක එක යටතේ එන කරුණු 10 මොනවාද?
  1. දන්දීමේ කුසල් විපාක ඇති බව
  2. පූජා කිරීමේ හොඳ විපාක ඇති බව
  3. ගුණවතුන්ට පුදපඬුරු යැවීමේ සැප විපාක ඇති බව
  4. කරන හොඳ නරක ක්‍රියා වල අනුරූප විපාක ඇති බව
  5. පරලොව සිට මෙලොවට ඉපදීම වශයෙන් එන බව
  6. මෙලොව සිට පරලොවට ඉපදීම වශයෙන් යන බව
  7. මවට කරන හොඳ නරක වල අනුරූප විපාක ඇති බව
  8. පියාට කරන හොඳ නරක වල අනුරූප විපාක ඇති බව
  9. මවෙක් හෝ පියෙක් නොමැතිව , කර්මානුරූපව, සකලාංග ප්‍රත්‍යව ඕපපාතිකව බිහිවන සත්වයන් නරකය, දිව්‍ය බ්‍රහ්ම ලෝක වල ඇති බව
  10. නුවන මෙහෙයවන පමණින් නොදන්නා දෙයක් නැති, සර්වඥ වූ අති ශ්‍රේෂ්ඨ බුදුවරුන් හා එම උතුමන්ගේ ආනුභාව ගැන දන්නා බව.
අංක දෙක යටතේ වඩාම උසස් කරුණු 4ක් ගැන නුවණක් සඳහන් වේ
  1. දුක - මුලු ලෝකයේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අශුභ ස්වභාවය
  2. දුකට හේතුව - හෙවත් පූර්ව භව තෘෂ්ණාව
  3. නිවන - ඒකාන්තයෙන් පවතින නිර්වාණ ධාතුව
  4. නිවන් මඟ - නිවනට පත්වීමට පිරිය යුතු පිළිවෙත හෙවත් අරිය අට මග
ඉහත සියල්ල ගැන පිරිසිඳු නුවණක් ඇති කර ගැනීමට නම් හැකි තරම් දහම හැදෑරිය යුතුය, නුවණ තීක්ෂණ කර ගැනීමේ භාවනා වල යෙදිය යුතුය. එම ප්‍රතිපදා තුලින් අති බලසම්පන්න ප්‍රඥා නම් කුසල චෛතිසිකය සිතේ පහල වන තරමට සම්මා දිට්ඨිය සාර්ථක වේ.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවැරදිව තේරුම් ගැනීමම බුදු සමයේ හරය වේ. මන්ද යත් නිවනට පත් වීමට ඇති ඇද නැති මග එය බැවිනි. පිළිපැදීමට පෙර වැරදි අදහස් හිතට ගත්තේ නම් සහමුලින් වැරදි මගක නිවන් සොයා යනු ඇත. මෙය ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්තේ එබැවිනි. තවත් විස්තර සොයනු කැමැත්තෝ අප විසින් පල කර ඇති ධර්ම පත්‍රිකාවෙන් ආරම්භ කරත්වා! පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත "චතුරාර්‍ය සත්‍ය" "අභිධර්ම මාර්ගය" ආදී පොත් වහන්සේලා උපරිමයෙන් පරිශීලනය කර තම තමාගේ ධර්ම ඥානය වඩා ගනිත්වා! නිවන් මග යත්වා! දහම වනසමින් පැතිරෙන වැරදි අර්ථ කථන නැසීමට දායක වෙත්වා!

Extracted from an email [Ruwan Weerasinghe (protectnation (at) yahoo (dot) com]

Friday, May 11, 2012

සොඳුරු රුවක් ලබන්නට නම්...

සොඳුරු රුවක් ලබන්නට නම්...

            රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
            තලල්ලේ
            චන්දකිත්ති හිමි

තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා.

වෙසක් පෝය ශ්‍රී ලංකා බෞද්ධයන්ට මෙන්ම සමස්ත ලංකා ලෝකවාසී සියලුම බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වන පෝය දවසක්. වෙසක් පෝය වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමාරයා බිහි වුණාට හෝ තථාගතයන් වහන්සේ පිරිනිවනට පත්වූ නිසාත් නොවේ. මේ පෝය වැදගත් වන්නේ වෙසක් පෝදින ඉපදුන සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපසයාව සිටියදී සම්මා සම්බුද්ධත්වයට පත්වූ නිසාවෙනි.

සිද්ධාර්ථ කුමාරයා සංසාරයේ විසි අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ තමන් වහන්සේ පමණක් නිවන් සුව අත්විදින්නට නොවේ. ඔබ අපි හැම දෙනාම සසර දුකින් මුදවාලීම උන්වහන්සේගේ මූලික අභිලාශය වුණා. ඒ ආකාරයට කැපවීමක් කළ අපේ තථාගතයන් වහන්සේ අපට දේශනා කළ ධර්මය අසා උත්සාහ කළ යුතුයි ඉක්මනට ඒ ධර්මය අවබෝධ කරගන්නට.

ිබුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබෙනවා මල්ලිකා සූත්‍රය නමින් සුන්දර දේශනාවක්. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තමයි සඳහන් වන්නේ.

මල්ලිකා දේවිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේදී මෙය වදාළේ. මල්ලිකා දේවිය කාන්තාවක් නිසාවෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා යැයි සිතිය හැකියි. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණිලා වැඳ නමස්කාර කරලා පැත්තකින් වාඩිවෙලා එතුමියගේ සිතේ ඇති වූ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

‘බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සමහර කාන්තාවන් ඉන්නවා දුර්වර්ණයි. ඒ වාගේම රූපය බොහෝ ම කැතැයි. බලන්නට පි‍්‍රයතාවයක් නැහැ. බොහෝම දිළිඳුයි. අල්පේශාක්‍යයි. සැප සම්පත් බෝගසම්පත් කිසිවක් නැහැ.

ඒ වගේම තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තවත් කාන්තාවන් පිරිසක් සිටිනවා බොහෝම දුර්වර්ණයි. බලන්න පි‍්‍රයතාවයක් නැහැ. ඒ වුණාට ධන ධාන්‍ය වලින් පූර්ණව පිරිවර සම්පත් තිබෙන මහේශාක්‍යය ලීලාවෙන් සිටින්නේ. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තව කාන්තාවන් පිරිසක් සිටිනවා. ඒ අය ලස්සනයි. රූපය දර්ශණීයයි. දුටුවන් පහදිනවා. වර්ණයෙන් සමන්විතයි. නමුත් මේ පිරිස කෙතරම් ලස්සන වුවත් පි‍්‍රයකරු වුණත් දුප්පත්. අනුන්ට අත පා ජීවත් වෙන පිරිසක්. බොහෝම අසරණයි.
ඒ වගේම තථාගතයන් වහන්ස, මේ ලෝකයේ තවත් කාන්තාවන් පිරිසක් ඉන්නවා බොහෝම ලස්සනයි. දර්ශනීය ප්‍රසාදය ඇතිකරන සුළුයි. වර්ණය පැහැපත්කමත් බොහෝම ඉහළින් තිබෙනවා. ඒ වාගේම බොහෝම ධනවත්. බෝග සම්පත්වලින් ඉහළයි. මහේශාක්‍යයි. පරිවාර සම්පත්තිය ඇතිකරගෙන ජීවත් වෙනවා.

මේ තමයි කාන්තා වර්ග හතර. අපි සරලව ගත්තොත් පළමු කණ්ඩායම කැතයි – දුප්පත්, දෙවැනි පිරිස කැතයි - පොහොසත්, අනෙක් අය ලස්සනයි – දුප්පත් , හතරවැනි පිරිස ලස්සනයි - පොහොසත්. මේ කණ්ඩායම් හතරට සමස්ත ලෝකයේ සිටින සියලුම කාන්තාවන් ඇතුලත් වෙනවා. එකම මිනිස් කාන්තා පිරිසක් විවිධ විෂමතා ඇතුව බෙදිලා වෙන්වෙලා මේ විදිහට වෙනස් වෙලා ඉපදෙන්නේ ඇයි කියලා තමයි ඇගේ ප්‍රශ්නය වුණේ.

එවෙලෙහි මල්ලිකා බිසවට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මල්ලිකාවෙනි, මේ සමාජයේ ඉන්නවා සමහර කාන්තාවෝ ඒ අයට ක්‍රෝධ සිතින් යුක්තයි. බොහෝ කිපෙන සුළුයි. කේන්තියක් ආ විට ඒ ගැනම සිත සිතා කල්පනා කරන පොඩි දෙයක් කියපු ගමන් ඒ පිළිබඳව ගැටීම් සිතින් ඇති කරගෙන මතකතබා ගෙන කිපෙනවා. ඒ අයගේ ප්‍රකෘති ස්වභාව තමයි කෙලෙස් සහිතභාවය. කෙලෙස් සහිත බව නිතරමි ප්‍රකට කරනවා. පොඩ්ඩක් එහාමෙහා වෙනකොට කිපෙන අය ඉන්නවා. තමාගේ ද්වේෂය, අප්‍රසාදය, නොසතුට පල කරන්න ගන්නවා. තරහයෙන් ඉන්නවා විතරක් නෙමෙයි එයා දන්දෙන කෙනෙකුත් නොවේ. ශ්‍රමණයන්ට බ්‍රාහ්මයන්ට, දුප්පතුන්ට කාටවත් එයා කිසිම දෙයක් දන් දෙන්නේ නැහැ. ලෝභයෙන් තණ්හාවෙන් ඉන්නවා. ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. අනෙක් අය සත්කාර ගරුසරු කරනවිටත් අකමැතියි. එයා ඒවා කරන්නෙත් නැහැ. ඒ අය මරණින් පස්සේ නැවත මිනිස් ලෝකයට ඇවිත් යම් යම් තැනක ඉපදෙනවානම් දුර්වර්ණවෙලා අල්පේශාක්‍ය වෙලා ඉපදෙනවා.


දෙවැනි කොටස ඉතා අවලස්සනයි. නමුත් ඒ අය ධනවත්. ඒ පිරිසත් ටිකක් වරදිනකොට ඇවිලෙනවා. රණ්ඩු කරනවා. ක්‍රෝධ සිතින් වාසය කරනවා. හැබැයි එසේ රණ්ඩු වෙවී සිටියත් නිතරම දන් දෙනවා. සිත පහදවාගෙන ශ්‍රමණ බමුණන්ට දන්දෙන නිසා ධනවත්ව මිනිස් ලෝකයේ උපදිනවා.

තුන්වෙනි කණ්ඩායම ලස්සනයි. හැබැයි දුප්පත්. තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ සමහර පිරිසක් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැහැ. තරහ ගන්නෙත් නැහැ. දෙයක් වුණාම ඒක ඉක්මණින් අමතක කරලා දානවා. කෙතරම් බැන්නත් ඒ පුද්ගලයා සමග රණ්ඩු වෙන්නට යන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. නමුත් ලෝභයි. ඒ අය මරණින් පස්සේ නැවත මිනිස් ලෝකයේ ඉපදුණොත් ක්‍රෝධ කලේ නැති නිසා ලස්සන වෙලා ඉපදෙනවා. නමුත් දන් නොදුන් නිසා දුප්පත්ව ඉපදෙනවා.

හතරවැනි පිරිස ලස්සනයි. ඒ වගේම පොහොසත්. ඒ අය මහේශාක්‍යයි. තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා. පෙර ජීවිතවල මෙසේ ජීවත්වූ නිසායැයි මල්ලිකා බිසවට පැහැදිලි කළා. මේ නිසා මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් කැමැතිනම් මේ කියන හතරවන පුද්ගලයන් බවට පත්වෙන්න කැමැතිනම් ඒ අය තමයි ඇගැයිය යුතු පිරිස ලෙස වදාළේ.’

මල්ලිකා බිසවට මේ විදිහට කිව්වාම මල්ලිකා බිසව මතක් කරනවා බුදුරජාණන් වහන්ස එක ජාතියක මම ක්‍රෝධ කරගෙන උපායාස බහුලව, ගැටුම් සහිතව හිටියනම් මේ ජීවිතයේදී දුර්වර්ණව රූපය අවලස්සනට ඉපදෙන්නට ඇති. නමුත් මම ඒ ජීවිතයේදී සංසාරේ බොහෝ දානමාන දීපු නිසා හොඳ රජ කුලවල ඉපදිලා මහත් ධනය ඇතිව ඉපදෙන්නට හේතුවෙන්න ඇති. මෙයින් අපට පෙනෙන්නේ මල්ලිකා දේවිය අවලස්සන කෙනෙක් වෙන්න ඇති.

මේ වෙසක් සමයේ අපි අධිෂ්ඨානයෙන් සිතේ ඇතිවන තරහව වෛරය ක්‍රෝධය මමත්වය දුරලා තථාගතයන් වහන්සේ වදාළ පරිදි සිත ප්‍රමුදිත භාවයට පත්කර ගෙන ජීවිතය පිළිබඳව අවබෝධය ඇතිකර ගැනීමට උත්සුක වෙමු.

සාකච්ඡා කළේ
නයනා නිල්මිණි

Extracted from an email from [Sumudu Malwenna / sdnmalwenna (at) yahoo (dot) com]

Wednesday, May 9, 2012

පූර්ණිමා… ලස්සන වචනයක්

“පූර්ණිමා… ලස්සන වචනයක්.

හින්දි භාෂාවෙන් ‘පූර්ණිමා’ කියන්නේ ‘පුන් සඳට’. ‘පූර්ණත්වයට පත් වූ සඳමඬල’ කියන එක තමයි එහි තේරුම.

ඇත්තෙන් ම සඳ කියන්නේ මහපුදුමාකාර දෙයක්. හිරු මඬල නම් හැමදාම අපි දකින්නේ එකම විදියට, එකම ප්‍රමාණයෙන්. ඒත් සඳ එහෙම නෙවෙයි. සඳ මඬල සම්පූර්ණයෙන් ම නොපෙනී ගිහින් ඝනාන්දකාරය අත්දකින දවසකුත් එනවා. දවසින් දවස ටිකෙන් ටික පිරී ගෙන ඇවිත් මුලු ලෝකය ම සුන්දර රැස් දහරින් නහවන දවසකුත් එනවා.

අපේ මහබෝසතාණන් වහන්සේ ගේ විශ්මිත ජීවිතයත් එක පැත්තකින් පුන් සඳ වගෙයි. සාරාසැකි කප් සුවහස් ගණන් ගෙවාගෙන, උතුම් සම්බුදු බව පිණිස පෙරුමන් පුරමින් පැමිණි ඒ සසර ගමනේ දී මහබෝසතාණන් වහන්සේ සිල් ගුණයෙන් නැණ බලයෙන් වැඩුනේ ටිකෙන් ටික වැඩීගෙන එන සඳ මඬල වගෙයි. ඒ අතර ම උන් වහන්සේ සංසාර ගත සත්වයාගේ ජීවිතතුළ කැටිවෙලා තිබෙන ඝනාන්දකාරයත් වරින් වර අත් වින්දා. දහසකුත් එකක් රහස් සඟවාගත් මේ ලෝකය ගැනත් දුක් විඳින සත්වයින් ගෙ ජීවිත ගැනත්, මහබෝසතාණන් වහන්සේ තුළ පැවති අවබෝධය දිනෙන් දින ම මහා පුදුම විදියට වර්ධනය වුනා.

මින් වසර 2556කට පෙර උදාවූ එක්තරා අසිරිමත් වෛශාක්‍ය පූර්ණිමා දිනයක දී, ගයාවේ ගංතෙරේ ඇසතු බෝරුක් සෙවනේ වජ්‍රාසනය මත වැඩ හිඳිමින් ඒ අවබෝධය පරිපූර්ණත්වයට කරගෙන ලෝකයේ සියලු රහස් දැන හදුනා ගන්නට උන් වහන්සේට හැකි වුනා.

මහබෝසතාණන් වහන්සේ ගේ අවබෝධය පරිපූර්ණත්වයට පත් වුන ඒ උතුම් දිනයේ දී, ලෝකය එළිය කරන්නට පායා ආ වෙසක් පුන්සඳට අලුත් නමක් ලැබුණා. ඒ තමයි “බුද්ධ පූර්ණිමා“ කියන නම. බුද්ධ කියන්නේ “අවබෝධ කළ“ කියන අර්ථය යි. පූර්ණීමා කියන්නේ පූර්ණත්වයට පත් වූ සඳමඬල. තුන් ලොව අවබෝධ කළ දිනයේ පූර්ණත්වයට පත් වූ සඳමඬල කියන අර්ථයෙන් තමයි බුද්ධ පූර්ණිමා කියන නම වෙසක් පුන් පොහෝ දිනයට ලැබුනේ. අදටත් ඉන්දියාව නේපාලය වගේ රටවල් වල වෙසක් පුන් පොහෝ දිනයට බුද්ධ පූර්ණිමා කියන නම භාවිතා වෙනවා.

ඉතින් දැන් තවත් අසිරිමත් බුද්ධ පූර්ණිමාවක් උදාවෙලා. මේ බුද්ධපූර්ණිමාව නොයෙක් අයුරින් සමරන්න ලංකාවෙ වගේ ම ලෝකයේ නොයෙක් තැන්වල බෞද්ධයන් ලක ලෑස්ති වෙනවා. ඒ අතරින් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයෙකු ගෙන් බලාපොරොත්තු වූ විදියට, වඩාත් අර්ථවත්ව, උන්වහන්සේ උදෙසා උපහාර පූජා පවත්වන්නට ඔබට හැකි වුනෝතින්, මේ වෙසක් පුන් පොහෝ දිනය සැබැවින් ම අනුස්මරණීය එකක් වේවි.

භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පූර්ණත්වයට පත් වූ මේ බුද්ධ පූර්ණිමා දිනය ඔබේ අවබෝධය සම්පූර්ණ කරගැනීම උදෙසා වෙන් කළොත් එය සැබෑ බුද්ධ උපස්ථානයක් වේවි. ඒ වගේ ම වෙසක් පුන් පොහෝ දිනයට සැබෑම අරුතක් එක් කරාවි.

ඔබේ අවබෝධය සම්පූර්ණ කර ගත හැක්කේ කොහොම ද..? ඒ සඳහා යි ඔබ පරිපූර්ණ අවබෝධයක් සහිත භාග්‍යවතුන් වහන්සේව සරණ යා යුත්තේ, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මාර්ගයෙහි ම ගමන් කළ යුත්තේ. සංසාරගත සත්වයින් ගේ ජීවිත කියන්නේ අවිද්‍යා ඝන කළු වළාවලින්, මෝහ තිමිර පටලවලින් වැසී ගිය මහා අන්ධකාර එකක්. ඒ අවිද්‍යා තිමිර පටල ඉරාගෙන සත්වයින් ගේ ජීවිතවලට ප්‍රඥා ආලෝකය ලබා දෙන්න පුලුවන් වෙන්නේ, පූර්ණත්වයට පත් වූ ඤාණ ප්‍රභාවකින් යුක්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට පමණයි. ඒ නිසා ඔබට අවිද්‍යා ඝණාන්දකාරයෙන් අත මිදිය හැකි වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙහි හැසිරීමෙන් මයි. ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් ම යි. වෙන ක්‍රමයකින් නම් නොවෙයි.

මේ නිසා මේ වෙසක් පුන් පොහෝ දිනයේ දී උතුම් සීලයක පිහිටා, ඉතා හොඳින් සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවාගෙන සම්පූර්ණ දිනය ම ගත කරන්නට උත්සාහ කරන්න. ඒ වගේ ම ජීවිතයේ අනිත්‍ය භාවය, දුක් භාවය සහ අනාත්මය ස්වභාවය මෙනෙහි කරන්නට උත්සාහ ගන්න. පටිච්චසමුප්පාදය වැනි ඔබ ඉගෙන ගත් දහම කරුණු මනා සිහියෙන් ජීවිතයට ගලපා බලන්නට උත්සාහ කරන්න.

ඔබට මතක ඇති, අප ගේ භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දිනය ගත කරනු ලැබුවේ සම්පූර්ණයෙන් ම පාහේ, තමන් වහන්සේ ගේ අවබෝධය පරිපූර්ණ භාවයට පත් කරගැනීම උදෙසා වෙහෙසෙමින් භාවනානුයෝගීව යි. ඒ නිසා ඔබත් මේ උතුම් දිනයේ මොහොතක් වත් හිස් ලෙස ගත නොකර, හැකිතාක් භාවනානුයෝගීවම ගත කරන්නට උත්සාහ දරන්න. ඒ වෑයම යම් දිනෙක ඔබේ අවබෝධය සම්පූර්ණ කරගෙන මේ දුක්ඛිත සංසාර ගමනින් එතෙර වීම පිණිස ඒකාන්තයෙන් ම උපකාර වේවි. එය එසේ ම වේවා.!!! සාදු සාදු සාදු!!!


♦ අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මින් වසර දෙදහස් හයසිය තිස් හයකට පෙර, බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයේ දී, ශාක්‍යයන් ගේ ලුම්බිණි නම් සල් උයන්හිදී මනුලොව උපන් සේක! සාදු සාදු!!

♦♦ අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මින් වසර දෙදහස් හයසිය එකකට පෙර, බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයේ දී, ගයාවේ ගංතෙරේ ඇසතු බෝ රුක් සෙවනේ වජිරාසනය මත වැඩ හිඳ, පරිපූර්ණ නො වූ සීලය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ සමාධිය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ ප්‍රඥාව මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ විමුක්තිය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නොවූ විමුක්ති ඤාණ දර්ශනය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. ශීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, විමුක්තියෙන් ද, විමුක්ති ඥානදර්ශනයෙන් ද, තුන් ලොවෙහි අග්‍ර වූ සේක. අනුත්තර වූ සේක. අසම සම වූ සේක. අප්‍රතිසම වූ සේක. සියලු කෙලෙසුන් නසා තුන් ලොව ජයගෙන සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වූ සේක. අරහං බවට පත් වූ සේක. සම්මා සම්බුද්ධ බවට පත් වූ සේක. විජ්ජාචරණ සම්පන්න බවට පත් වූසේක. සුගත බවට පත් වූසේක. ලෝක විදූ බවට පත් වූසේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී බවට පත් වූ සේක. දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ බවට පත් වූ සේක. බුද්ධ බවට පත් වූ සේක. භගවා බවට පත් වූ සේක. මනුසත් කලල් විල මත පිපී, තුන්ලොව සුවඳ විහිදන සුදෝසුදු සියපත බවට පත් වූ සේක.. සාදු සාදු!!!

♦♦♦ අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මින් වසර දෙදහස් පන්සිය පනස් හයකට පෙර, සම්බුදු කෘත්‍ය සම්පූර්ණ කොට, පමණ කළ නො හැකි දෙව් මිනිස් පිරිසක් නිවන් පරතෙර පමුණුවා, බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයේ දී, කුශිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේ දී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. සාදු සාදු!!!

බුද්ධ පූර්ණිමා නම් වූ වෛශාක්‍ය පුන් පොහෝ දිනයේ දී මනුලොව උපතලබා, සම්මා සම්බුදු බවට පත්ව, පිරිනිවන් පා වදාළ, ඒ සුගත තථාගත අප ගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සිරසින් නමස්කාරය වේවා.! දෙවනුවද සිරසින් නමස්කාරය වේවා!!! තෙවනුව ද සිරසින් නමස්කාරය වේවා!!!

ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත වන සේක, ලෝකවිදූ වන සේක

ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත වන සේක, ලෝකවිදූ වන සේක.

ඊළඟ ගුණය ‘සුගත.’ සුගත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම නිසා, නිවන අවබෝධ වීමට කියන නමක්. ඔන්න ගෙදරක ළමයෙක් ඉන්නවා. මේ ළමයා නරක යාළුවෝ ටිකක් එක්ක ක්ලබ් ගානේ ගිහින් ? වෙලා එනවා කියමු. දෙමව්පියෝ කියයි ”පුතා ඔයා ඔය යන පාර නම් හොඳ නෑ” කියලා. එතැන ‘පාර’ කියලා කිව්වේ එයාගේ වැඩපිළිවෙලටනේ. ඔන්න කෙනෙක් බොහෝම හොඳට ජීවත් වෙනවා. එතකොට අපි කියනවා ”ඔයා හොඳ ගමනක් යන කෙනෙක්” කියලා. එතැනත් ගමන කියලා කිව්වේ එයා ජීවත්වෙන පිළිවෙලට. මේකෙත් තියෙන්නේ ඒ අර්ථය.

සුගත කියලා කිව්වේ ‘සුන්දර ගමනක් ගිය’ කියන අර්ථයෙන්. සුන්දර ගමන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගෙන නිවන කරා වැඩම කළා කියන අර්ථය තමයි ‘සුගත’ කියන එකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කළ නිසා ‘සුගත’ කියලා කියනවා. අපේ ශාස්තෘන් වහන්සේ ‘සුගත’ ගුණයෙන් යුතු බව අපි අවබෝධ කරගන්න ඕන.

ඊළඟ එක ‘ලෝකවිදූ.’ ‘විදූ’ කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත් කියන අර්ථයෙන්. ‘ලෝකවිදූ’ කියන්නේ සියලු ලෝකයන් අවබෝධ කරගත් කියන අර්ථයෙන්. බුදුරජාණන් වහන්සේ භෞතික ලෝක විතරක් නෙවෙයි, සත්ව ලෝකත් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත‍්‍රයේදී මේ පෘථිවිය හැදෙන හැටි පිළිබඳව විස්මිත කරුණු දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කළා, පෘථිවිය විනාශ වෙද්දී සත්වයන් ආලෝක බවට පත්වෙනවා කියලා. ඒකෙ තේරුම තමයි, සත්වයන් නැති වෙන්නේ නෑ. කර්මානුරූපව මොන විදිහකින් හරි පවතිනවා. කාලයක් ගියහම නැවතත් මේ ලෝකය හැදෙනවා. ඊට පස්සේ අර ආලෝක බවට පත්වූ සත්වයන් නැවතත් මේ ලෝකයට පාත් වෙනවා. පාත් වෙලා නිල් ආකාසේ ඉන්නවා.

එළකිරි උණුකරලා දුම් දදා තිබිලා නිවෙන්න තිබ්බාම කිරෙන් උඩ යොදයක් හැදෙනවනේ. එ් වගේ මේ පෘථිවියෙත් යොදයක් හැදෙනවා. මේ යොදයෙන් ඉමිහිරි සුවඳක් එනවා. (මේ කියන්නේ පෘථිවියේ එක්තරා අවස්ථාවක්) ඒ යොදයේ තියෙන්නේ මී පැණි වගේ රහක්. පෘථිවිය ආශ‍්‍රයෙන් ආකාසේ ඉන්න මේගොල්ලන්ට මේ සුවඳ දැනෙනවා. එයින් එක්කෙනෙක් ආයාසයකින්, උත්සාහයක් අරගෙන මේ යොදය ඇඟිල්ලේ ගාලා දිවේ ගාගෙන ”ෂා… රස…”කියලා කියනවා. එතකොට අනිත් අයට ‘මොකක්ද මේ..?’ කියලා දැනගන්න උනන්දුවක් ඇතිවෙනවා. අපට වුණත් එහෙමනේ. අපි ඔක්කොම ඉන්න තැනකට අපි නොදැකපු, නොකාපු දෙයක් ගෙනල්ලා ”ෂා… රස….” කියලා කිව්වොත් අපටත් ‘ඒක බලන්න ඇත්නම්…’ කියලා හිතෙනවානේ.

අද කාලේ නම් පොසිල වලින්නේ එක එක කතන්දර හදන්නේ. නමුත් මේ බලන්න, ලෝකය ගැන කවුරුවත් දන්නේ නැති විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපූරුව. මෙහෙම දිව ගාලා රස කියපු නිසාලු මේ වර්තමාන මනුෂ්‍යයා රසවත් කෑමක් හම්බවුණාම ඉස්සෙල්ලා චුට්ටක් රස බලලා ”ෂා…. හරි අගෙයි” කියලා කියන්නේ. ඒක අපි ඒ වගේ තත්වවලට පත්වෙලා ආපු පුරුද්දලු.

මේ වගේ බුදුරජාණන් වහන්සේ ලෝක ගැන විස්මිත කාරණා පෙන්වා දෙනවා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා,

”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේ නමක් මේ සහස්සී ලෝක ධාතුවට ඇහෙන්න කතා කරලා තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.”

”ඔව්, මං එහෙම කිව්වා තමයි.”

”අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේට ලෝක කීයකට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද?”

”ආනන්දය, තථාගතයන් වහන්සේලාගේ කුසලතාවය මනින්න බැහැ”

ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවැනි වතාවෙත් ඒ කාරණයම අසා සිටියා. ඒ වතාවෙත් බුදුරජාණන් වහන්සේ ”මනින්න බෑ” කිව්වා. තුන්වැනි වතාවෙත් අහනකොට ලස්සන කතාවක් කිව්වා.

”ආනන්දය, හිරු සඳු එළිය කරන මේ ලෝකය තියෙනවනේ. මේ වගේ ලෝක දාහක් එකතු වුණාම ඒකට ‘චූළනිකා සහස්සී ලෝක ධාතුව’ කියලා කියනවා. ඒ දාහ වගේ ඒවා දාහක් එකතු වුණාම ‘මජ්ඣිමා සහස්සී ලෝක ධාතුව.’ ඒ වගේ ඒවා දාහක් ‘තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව. ආනන්දය, තථාගතයන් වහන්සේට ඕන නම් මේ ඔක්කොම ලෝකවලට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ඒ ලෝකවලින් එහාට වුණත් ඇහෙන්න කතාකරන්න පුළුවන්.”

”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කොහොමද ඕක කරන්නේ? කොහොමද මේ ලෝකවලට කතා කරන්නේ?”

මීට අවුරුදු 2600 කට කලින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලන්න. බුදුරජාණන් වහන්සේ වදාළා,

”ආනන්දය, මම ඉස්සෙල්ලාම ඒ ලෝකවලට යවන්නේ ආලෝකය. (අපට ඒක නම් පොඞ්ඩක් තේරෙනවා) ආලෝකය යැව්වට පස්සේ ඒ ආලෝකය යවපු දිශාවට ඒ අය යොමු වෙනවා. ඊට පස්සේ මම ශබ්දය යවනවා.” අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ‘ලෝකවිදූ’ වන සේක.

බුදුරජාණන් වහන්සේ නිරය, තිරිසන් අපාය, පේ‍්‍රත ලෝකය ආදී ලෝක ගැන තවත් ලස්සන උපමාවක් දේශනා කළා. උපමාව තමයි, ඔන්න කෙනෙක් කාන්තාර මාර්ගයක ගමන් කරනවා. හැබැයි, ඒ පාර වැටිලා තියෙන්නේ ගිනි අ`ගුරු වලකට. මේක නුවණැති කෙනෙක් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා කල්පනා කරනවා ‘අනේ මේ පුද්ගලයා යන පාර නම් හරි අමුතු පාරක්. මෙයා මේ යන පාර වැටිලා තියෙන්නේ ගිනිඅ`ගුරු වලකට. මෙයා මේ පාරේ ගියොත් ගිනිඅ`ගුරු වලේ තමයි නතර වෙන්නේ.’ එයාට පස්සේ කාලෙක දකින්න ලැබෙනවා, මෙයා ඒ පාරේ ගිහිල්ලා ගිනිඅ`ගුරු වලේ වැටිලා ඉන්නවා.

ඒ වගේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන් දිහා බලද්දී උන්වහන්සේට මේ මනුෂ්‍යයන්ව පේනවා. ‘මෙයා මේ ක‍්‍රියාවල් කරමින් ඉන්නේ. මෙයා මේ විදිහට වචන කතා කර කර ඉන්නේ. මෙයා මේ විදිහට හිත හිත ඉන්නේ. මෙයා මේ යන මාර්ගයේ ගියොත් නිරයේ උපදිනවා’ කියලා. ඒ විදිහට එයා නිරයේ ඉපදිලා දුක් විඳ විඳ ඉන්නවා උන්වහන්සේට පස්සේ කාලෙකදී දකින්න ලැබෙනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කරනවා. ඔන්න මනුෂ්‍යයෙක් පාරක යනවා. ඒ පාර වැටිලා තියෙන්නේ අසූචි වලකට. ඒ පාර ඉවර වෙන්නේ අසූචි වලකින්. ඉතින් ඈත ඉඳලා කෙනෙක් මේක බලාගෙන ඉඳලා ”අනේ මේ මනුෂ්‍යයා මේ පාරේ ගියොත් අර අසූචි වලේ තමයි වැටෙන්නේ’ කියලා කල්පනා කරනවා. ඒ විදිහටම මෙයා පස්සේ කාලෙක වැසිකිලි වලේ වැටිලා ඉන්නවා දකින්න ලැබෙනවා. සමහරු ජීවත්වෙන පිළිවෙල බලද්දී බුදුරජාණන් වහන්සේටත් ‘මෙයා දැන් කරන දේවල්, කියන දේවල්, හිතන දේවල්වලින් ඊළඟ ආත්මයේ තිරිසනෙක් වෙලයි නවතින්නේ…’ කියලා පේනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පස්සේ කාලෙක එයා තිරිසනුන් අතරේ ඉපදිලා ඉන්නවා දකින්න ලැබෙනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ”කෙනෙක් කාන්තාර මාර්ගයක යනවා. (කාන්තාර මාර්ගයක යන කොට පිහිටක් නෑනේ) මේ කෙනා පිපාසෙන්, බඩගින්නෙන් යනකොට මෙයාට යන්තම් කොළ දෙක තුනක් තියෙන ගස් හම්බවෙනවා. මෙයා මේ ගහක් යට වාඩිවෙලා මහන්සි අරිනවා. ඒ වගේ සමහරු ජීවත්වෙන පිළිවෙල දිහා බලද්දී මට ‘මෙයා නම් මරණින් මත්තේ පෙරේත ලෝකයේ තමයි උපදින්නේ කියලා පේනවා. අන්තිමට එයා මරණින් මත්තේ පෙරේත ලෝකයේ ඉන්නවා දකින්න ලැබෙනවා.”

බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකය ගැනත් උපමාවක් දේශනා කළා. මනුෂ්‍යයෙක් කාන්තාර මාර්ගයක ගමන් කරද්දී එයාට හොඳට කොළ තියෙන, හෙවන තියෙන ගහක් දකින්නට ලැබෙනවා. ඒ ගහ තියෙන පාරේ තමයි මෙයා යන්නේ. ඉතින් කෙනෙක් මේක බලාගෙන ඉඳලා කල්පනා කරනවා ‘මේ යන පාරේ දිගටම ගියොත් මෙයාට මේ ගහ හම්බවෙනවා. එයා මේ ගහ යට ටිකක් විවේක ගනියි’ කියලා. ඒ වගේ තමයි, සමහරු ජීවත්වෙන පිළිවෙල දිහා බලලා බුදුරජාණන් වහන්සේ ”මෙයා ආයෙමත් මරණින් මත්තේ මනුෂ්‍ය ලෝකයේ ඉපදේවි” කියලා දකිනවා. පස්සේ කාලෙකදී එයා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ඉන්නවා දකින්න ලැබෙනවා. උන්වහන්සේ මනුෂ්‍ය ලෝකය දැක්කේ කාන්තාර මාර්ගයක තියෙන හෙවන ඇති ගහක් ලෙසටයි.

එහෙම නම් අපි අද ඉන්නේ කාන්තාර මාර්ගයක හෙවන තියෙන ගහක් යට. අපි හෙවන තියෙන ගහ යට ඉඳලා වෙන වෙන පාරවල් තෝරා ගන්නවා. කෙනෙක් ගිනි අඟුරු වළට යන පාර තෝරා ගන්නවා. කෙනෙක් අසූචි වලට යනවා. තව කෙනෙක් හෙවන නැති ගස් තියෙන පැත්තට යනවා. මේ උපමා හරි වටිනවා. මේවා මතක තියාගන්න. මේක තියෙන්නේ මහා සීහනාද සූත‍්‍රයේ. මේ කියපු උපමා ටික අපේ ජීවිතවලට හරි වැදගත්.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”ඔන්න තවත් කෙනෙක් කාන්තාර මාර්ගයේ යනවා. එයා යන පාර වැටිලා තියෙන්නේ හොඳ ගෙයක් තියෙන තැනකට. පස්සේ කාලේ එයා ඒ ගෙදර ඉන්නවා. ඒ වගේ තමයි, සමහර අය මේ ජීවිතයෙන් පස්සේ දිව්‍ය ලෝකවල සැපසේ වාසය කරනවා.” බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකය දැක්කේ කාන්තාර මාර්ගයේ තියෙන හොඳ ගෙයක් හැටියට.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා ”ඔන්න පිපාසයෙන් ඉන්න තවත් මනුෂ්‍යයෙක් කාන්තාර මාර්ගයක යනවා. හැබැයි, ඒ පාර වැටිලා තියෙන්නේ වනාන්තරයක් තියෙන දිශාවකට. හොඳ පැන් පොකුණු තියෙන දිශාවට. එයා ඒ පාරේ ගිහිල්ලා, පැන් වළඳලා, පිපාසය නිවාගෙන හොඳට හාන්සිවෙලා ඉන්නවා. ඒ වගේ තමයි, සමහරු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා කෙලෙස් පිපාසය බැහැර කරලා, පිපාසයක් නැති සිතින් සැනසිල්ලේ වාසය කරනවා. උන්වහන්සේ මෙන්න මේ විදිහට මේ සියලු ලෝක දැක්කා.

උන්වහන්සේ දේශනා කළා ”මේ මේ දේවල් කිරීම හේතුවෙන් නිරයේ යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් තිරිසන් අපායේ යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් පෙරේත ලෝකයට යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් මනුෂ්‍ය ලෝකයට එනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් දිව්‍ය ලෝකයේ යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් නිවන අවබෝධ කරනවා…’ කියලා. ඒ වගේම උන්වහන්සේ ඒ පාරවලුත් පෙන්වා දුන්නා.

එහෙම නම් කෙනෙකුට නිරයේ යන්න ඕන නම් කරන්න තියෙන්නේ අනුන්ට උගුල් අටව අටවා, අනුන්ට නින්දා අපහාස කර කර ඉන්න එකයි. එතකොට එයා කෙලින්ම නිරයේ තමයි. තිරිසන් අපායේ යන්න ඕන නම් එයාට තියෙන්නෙත් ඒ විදිහට ඉන්න. බුද්ධ දේශනාවේ තියෙනවා, සමහරු හොඳට දානේ දෙනවා. හැබැයි, සිල් රකින්නේ නෑ. අනුන්ට උගුල් අටවනවා. නින්දා අපහාස කරනවා. කරදර කරනවා. වචනයෙන් පව් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ගිහිල්ලා කන්න තියෙන සත්තු අතර උපදිනවා කියලා. බලන්න මේ මනුෂ්‍යයින්ට වෙන දේවල්. බල්ලෝ වෙලා, අලි වෙලා, අශ්වයෝ වෙලා උපදිනවා. හැබැයි, උන්ට හොඳට සැළකිලි. ඒ ලැබෙන්නේ සංසාරේ දන් දීලා තියෙන නිසයි. නමුත් තිරිසන් ලෝකයේ උපදින්නේ කයෙන්, වචනයෙන්, සිතින් අයහපතෙහි හැසිරීම නිසයි. බුදුරජාණන් වහන්සේ ඒ හැමදේම දේශනා කරලා තියෙනවා.

දවසක් බුදුරජාණන් වහන්සේ ‘සුමනා’ කියන කුමාරියට දානය ගැන ලස්සන දහම් කාරණාවක් කියා දුන්නා. සුමනා කුමාරිය බුදුරජාණන් වහන්සේගෙන් හොඳ ප‍්‍රශ්නයක් අසා සිටියා.

”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම ශ‍්‍රද්ධාවෙන් සමානයි. සීලයෙනුත් සමානයි. ප‍්‍රඥාවෙනුත් සමානයි. නමුත් එක්කෙනෙක් දන් දෙනවා. එක්කෙනෙක් දෙන්නේ නෑ. මේ දෙන්නම මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ උපදින්න පුළුවන්ද?” ”පුළුවන්” කිව්වා. ”එතකොට දිව්‍ය ලෝකයේදී මේ දෙන්නගේ වෙනසක් තියෙනවද?”

”වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා දන් දීපු නැති කෙනාට වඩා දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන් බලවත් වෙනවා.”

”ස්වාමීනී, මේ දෙන්නා දිව්‍ය ලෝකයෙන් චුතවෙලා මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. එතකොට වෙනසක් නැද්ද?”

”ඒත් වෙනසක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේදීත් අර දන් දීපු කෙනා මනුෂ්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් වැඩියි.”

”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා මහණ වුණොත් මහණ වුණාට පස්සෙත් වෙනසක් තියේවිද?”

”වෙනසක් තියෙනවා. මහණ වුණාට පස්සෙත් සංසාරේ දන් දීපු කෙනාට අග‍්‍ර වශයෙන් සිව්පසය ලැබෙනවා. දන් දීපු නැති කෙනාට එහෙම ලැබෙන්නේ නෑ.”

”ස්වාමීනී, මේ දෙන්නා නිවන් දැක්කොත්..? නිවන අවබෝධ කළොත් ඒකෙත් වෙනසක් තියේවිද?”

”ඒකෙ නම් වෙනසක් නෑ. ඒ විමුක්තිය ඔක්කෝටම එකයි” කිව්වා.

මේ ලෝක ගැන, සත්වයන් ගැන බුදුරජාණන් වහන්සේගේ තියෙන අවබෝධය හරිම පුදුමයි. සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ‘ලෝකාන්තරික’ කියලා නිරයක් ගැන විස්තර කරලා තියෙනවා. ඒ නිරය තනිකරම කළුවරයි. තව ‘සීත නිර’ කියලා නිරයක් තියෙනවා. ඒ නිරයේ තියෙන්නේ සීතල විතරයි. ඒ ලෝකාන්තරික නිරය එළිය වෙන්නේ බුදු කෙනෙක් පහළ වූ දවසක, බුදු කෙනෙක් දහම් දෙසන වෙලාවක, පිරිනිවන් පාන වෙලාවක වගේ වෙලාවක විතරයි. ඒ විදිහට බුද්ධ දේශනාවල උපදින තැන් ගැන බොහෝ විස්තර තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලම අවබෝධ කරගෙන මේ සියල්ලෙන්ම මිදුණ එකම ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ ඒකාන්තයෙන්ම ‘ලෝකවිදූ’ වන සේක.

සමහර අය ‘ඔය අපාය තියෙනවද? දිව්‍ය ලෝක තියෙනවද? ඕවා තියෙන්නේ කොහේද?’ කිය කියා අහන්නේ මේවා ගැන දන්නේ නැතුවයි. මීට අවුරුදු සියයකට කලින් කවුරුහරි ලංකාවේ කෙනෙකුට කැනඩාව කියලා රටක් තියෙනවා කියලා කිව්වා නම්, ‘කොහෙද ඕක තියෙන්නේ?’කියලා අහයි. කැනඩාව කියලා රටක් තියෙනවා කියලා දැන්නේ අපි දන්නේ.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ වන සේක

ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ වන සේක

බුදුරජාණන් වහන්සේගේ ඊළඟ බුදුගුණය තමයි, ‘අනුත්තරෝ පුරිසදම්මසාරථී.’ මේ ලෝකයේ ඉන්න සමහරු එක එක දේ පුහුණු කරනවා. සමහරු අශ්වයෝ පුහුණු කරනවා. සමහරු අලි පුහුණු කරනවා. සමහරු බල්ලන්ව පුහුණු කරනවා. සමහරු මිනිසුන්ට උගන්වනවා. මේ ලෝකයේ පුහුණු කරන අය අතරේ අග‍්‍ර කෙනාටයි ‘අනුත්තරෝ පුරිසදම්ම සාරථී’ කියන්නේ. පුහුණු කරන එකට තමයි දමනය කරනවා.. හික්මවනවා.. කියන්නේ.

බුදුරජාණන් වහන්සේ තමයි, ‘මෙන්න මේ විදිහට සීලය දියුණු කරන්න.. මේ විදිහට සමාධිය දියුණු කරන්න.. මේ විදිහට ප‍්‍රඥාව දියුණු කරන්න.. දැන් මේ විදිහට කරන්න..’ කියලා ලස්සනට පුහුණු කරන්නේ. එතකොට ඒ විදිහට කළාම එයා සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරහත් වෙනවා. ‘අනුත්තරෝ පුරිසදම්මසාරථී.’ ලෝකයේ පුහුණු කරන අය අතර, දමනය කරන අය අතර අග‍්‍රයි. ඒක පුදුම එකක්.

අපිත් සමහර විට සමහර අයව ‘මෙයා මේකට දක්ෂයි. එයා මේ පැත්තට පුරුදු කරන්න ඕන’කියලා තෝරනවනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ‘අයියයි, මල්ලියි දෙන්නෙක් මහණ වුණා. අයියට හොඳට ධර්මය පාඩම් හිටිනවා. මල්ලිට බණ පාඩම් හිටින්නේ නෑ. අයියා මල්ලිට අඬගහලා ”උඹට පාඩම් හිටින්නේ නෑ. ගෙදර ගිහිල්ලා වගා කරපන්” කියලා කිව්වා. නමුත් මල්ලි ගෙදර යන්න කැමති නෑ.

ඉතින් බැරිම තැන පොඩි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ගේට්ටුව ලඟ අඬ අඬා සිටියා. මොකද, ගෙදර යන්න කියලා එලවලානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයා ලඟට වඩිනවා.

”ආ… මොකද මේ චූල පන්ථක අඬ අඬා?”

”අනේ ස්වාමීනී, අයියා මාව එලෙව්වා.”

”ඇයි ඒ?”

”මට පාඩම් හිටින්නේ නෑ. ඒ නිසා ගෙදර යන්නලු. සිවුරු ඇරලා ගෙදර ගිහිල්ල කුඹුරු කොටන්නලු.”

”නෑ… එහෙම කරන්න බැහැනේ. මේක එයාගේ ශාසනයක් නෙවෙයිනේ. යමු මාත් එක්ක” කියලා ඔළුව අතගාලා අතින් අල්ලගෙන එක්කගෙන ගියා.

බුදුරජාණන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේගේ අතට රෙදි කෑල්ලක් දුන්නා. දීලා ”කිලිටි අත්හරිනවා.. කිලිටි අත්හරිනවා.. (රජෝ හරණං) කියලා රෙදි කෑල්ල අත ගගා ඉන්න” කියලා කිව්වා. දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේ එහෙම කර කර ඉන්නවා. නමුත් කිලිටි අත්හරිනවා කියනකොට කිලිටි වෙනවා. ”කිලිටි අත්හරිනවා කිය කියානේ මං අතගෑවේ. හැබැයි මේක කිලිටි වෙනවානේ.” මෙයාගේ සිත දැඩිලෙස මේකට යොමු වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එයාගේ සිත දියුණු වෙන ආකාරයට දහම් කරුණු දේශනා කළා. සුළු වෙලාවකින් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. බලන්න, අවබෝධ කිරීමේ හැකියාව වැහිලා තිබුණ හැටි. වෙන කාටද ඒක මතුකරලා ගන්න පුළුවන්?

අපටත් මේ ජීවිතය අවබෝධ කරන්න තියෙන අවස්ථා, කුසලතා කොච්චර නම් වැහිලා ඇද්ද? කවුරු නම් දනිත්ද මේක අවුස්සලා ගන්න? ඔන්න වෙනස.

මේ චූල පන්ථක ස්වාමීන් වහන්සේ තමයි මනෝමය ශරීර මවන භික්ෂූන් අතරින් අග‍්‍ර වුණේ. අයියා ස්වාමීන් වහන්සේ මේක දන්නේ නෑ. අයියා හිතුවේ ගෙදර ගිහිල්ලා කියලයි. ඉතින් එදා ස්වාමීන් වහන්සේලා ඔක්කොම දානෙකට වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා ”එක නමක් අඩුයි..”දැන් කවුරුවත් මෙයා ඉන්න බව දන්නේ නෑ. එක පුද්ගලයෙකුට කිව්වා ”ගිහිල්ලා බලන්න විහාරයේ ඉන්නවා තව ස්වාමීන් වහන්සේ නමක්.”

දැන් ඉතින් මෙයා බලන්න ගියා. යනකොට එකම වගේ හාමුදුරුවරු දාහක් ඉන්නවා. අතු ගානවා, සක්මන් කරනවා, භාවනා කරනවා. අරයා ආයේ හති දාගෙන දුවගෙන ආවා. ඇවිල්ලා ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ දැන් දහස් නමක් වැඩලා ඉන්නවා” කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා, ”ඔබ ආයෙත් ගිහිල්ලා නම අහන්න. නම අහලා ඉස්සෙල්ලාම නම කියන කෙනාගේ සිවුරු පොට අල්ලන්න.” ඉතින් මෙයා ගිහිල්ලා ”කවුද චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ?” කියලා ඇහුවා. ඒ වෙලාවේ දහස් නමම ”මමයි..මමයි..” කියලා ඉස්සරහට ආවා. ඉස්සෙල්ලාම ‘මමයි’ කියපු ස්වාමීන් වහන්සේගේ සිවුරෙන් ඇල්ලුවා. අල්ලපු ගමන් අනිත් නමසිය අනූනව නමම නැතුව ගියා.

”අනේ ස්වාමීනී, දානෙට වඩින්න” කිව්වා. ”හා හොඳයි. මං එන්නම් උපාසක මහත්මයා යන්න” කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට ආසනයක් වෙන් කරලා තිබුණා. ඔන්න භික්ෂුවක් පොළොවෙන් උඩට මතුවෙලා වාඩිවුණා.

මේ අපි කතා කළේ ශ‍්‍රාවකයෙකුගේ ඉර්ධියක්නේ. එහෙම නම් ශාස්තෘන් වහන්සේගේ ඉර්ධිබලය කොහොම ඇද්ද? අපට නම් වර්තමානයේ කවුරු හරි අළු චුට්ටක් මැව්වත් මහා හාස්කමක්නේ. කවුරු හරි කෙනෙක් ඒ වගේ අළු ටිකක් මැව්වොත්, මලක් වැටුණොත් අපට නිකං මහා අද්භූත දෙයක්. නිකං කරකෝලා දැම්මා වගෙයි. නමුත් මේ වගේ ඍද්ධි බලන්න ඒ කාලේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? මේ කියන්නේ ශාස්තෘන් වහන්සේගේ ඍර්ධියක් නෙවෙයිනේ. ශ‍්‍රාවකයන් වහන්සේ නමක්. බලන්න, පුහුණු කරන ලස්සන.

එක තැනක සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේලා තිස් නමක් වනාන්තරේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ලඟට වඩිනවා. උන්වහන්සේ හිතනවා”මේ තිස් නමගේ මනස දැන් හොඳට මෝරලා තියෙන්නේ. මේ වාඩිවෙලා ඉන්න තැනම අරහත්වයට පත්වෙන්න දේශනාවක් කරන්න ඕන.”දැන් උන්වහන්සේ මේ හැම කෙනෙකුගේම හිත දකිමින් තමයි දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට ඒ තිස් නමම අරහත්වයට පත්වුණා. ‘අනුත්තරෝ පුරිසදම්මසාරථී.’ අන්න ඒවටයි හික්මවනවා කියන්නේ.

සමහර විට අපි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩහිටපු කාලේ හිටියා නම් මෙතැනින් කී දෙනෙක් නම් රහතන් වහන්සේලා වෙලා ඇද්ද? අපි ඒක දන්නේ නෑ. දැන් අපේ වාසනාව වැහිලා තියෙන්නේ. මේ ජීවිතේදීවත් අපි මේ පොඞ්ඩ අල්ල ගත්තේ නැත්නම්, ආයේ කවදා නම් මේ වගේ අවස්ථාවක් ලැබෙයිද කියලා කිවන්න බෑ.

ඊළඟට ‘සත්ථා දේවමනුස්සානං.’ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ. ‘සත්ථා’ කියන වචනයත්, ‘ශාස්තෘ’කියන වචනයත් පැරණි ඉන්දියානු වචන. ඔබ ගැල් කියන වචනය අහලා තියෙනවා නේද? ගැල් කියන්නේ කරත්තවලට. ඒ කාලේ රාත‍්‍රී කාලයේ ගැල් පන්සීය දාහ යනවා. දවල් කාලේ යන්න බැහැ, රස්නෙ වැඩියි. ඉස්සෙල්ලාම කරත්තේ යන කෙනා ආකාසේ තරුවලින් තමයි පාර සලකුණු කරගන්නේ. එතකොට එයාට හරියටම කරන්න පුළුවන්. ඒ ගැල් මෙහෙයවන කෙනාට ‘ශාස්තෘ’ කියලා කියනවා. එයා හිටියේ නැත්නම් කාන්තාරයෙන් එතෙර වෙන්න බැහැ. ඒවා දන්න බොහෝම දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ වගේ කෙනෙක් ගමන මෙහෙයවන්නේ. (සත්ථු) ගැල් නායකයා තමයි ඒක කරන්නේ.

බුදුරජාණන් වහන්සේත් ‘සසර’ නැමැති කතරින් එතෙර වෙන්න පාර කියනවා. ඒකටයි‘ශාස්තෘන් වහන්සේ’ කියලා කියන්නේ. සසරින් එතෙර වෙන්න පාර පෙන්නූ නිසයි අපි අපේ ශාස්තෘන් වහන්සේ කියන්නේ. එතකොට උන්වහන්සේ දෙවියන්ටයි, මිනිසුන්ටයි ශාස්තෘන් වහන්සේ. එහෙම නම් අපි මතක තියාගන්න ඕන, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මිනිස්සුන් විතරක් සසර දුකින් මුදවන්න නෙවෙයි. මිනිස්සු, දෙවියෝ… ඒ සියලු දෙනාම සසර දුකින් මුදවන්නයි.

එහෙම නම් අපට තේරුම් ගන්න පුළුවනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන්න මනුෂ්‍යයන්ටත් පුළුවන්කම තියෙනවා, දෙවියන්ටත් පුළුවන්කම තියෙනවා. මේක දන්නේ නැති අය තමයි ‘දිව්‍ය ලෝකයේ ගිහින් වැඩක් නෑ’ කියලා කියන්නේ. ‘ඇයි ඒ?’ කියලා ඇහැව්වම එක්කෝ ‘සැප වැඩියි’ කියනවා. ඊළඟට ‘පින් කරන්න බැහැ’ කියලා කියනවා. හරියට මෙහෙ පින් කරනවා වගේ. ඔය ඔහේ මොකක් හරි කියවනවා. ඒකේ තේරුම දන්නේ නැතිකම.

චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ ඉඳලා අකණිටා බඹලොව දක්වා ඉන්න සියලු දෙවියන්ට මාර්ගඵල ලබන්න පුළුවන්. දැනුත් ගණනින් කියන්න බැරි මාර්ගඵල ලාභීන් පිරිසක් ඉන්නවා. ධම්මචක්ක පවත්තන සූත‍්‍රයේ තියෙනවානේ ඒ දිව්‍ය ලෝක විසි දෙකකින්් දෙවිවරු ඇවිල්ලා බණ අහල මාර්ගඵල ලැබුවා කියලා. අදටත් දෙවිවරුන්ට මාර්ගඵල ලබන්න පුළුවන්. මනුස්ස ලෝකයේ ඒ වාසිය නැති තරමයි. මොකද, අද මනුෂ්‍ය ලෝකයේ ධර්මය කියන අය ඇත්තෙත් නෑ. කියන කෙනෙකුට කියන්න දෙන්නෙත් නෑ. ඒකටත් අකුල් හෙලනවා. ඒ නිසා මනුස්ස ලෝකයේ් හරිම කරදරයි. මේක කරන්න අමාරුයි. ඒකට හේතුව තමයි, සම්මා දිට්ඨිය තියෙන අය, පින් පව් විශ්වාස කරන අය අඩුයි. එහෙම අය දිව්‍ය ලෝකයේ යන්නේ නෑනේ. දිව්‍ය ලෝකයේ යන්නේ හොඳට පින් කරපු අය.

ඔබට හිතෙනවා ඇති දිව්‍ය ලෝකයේ යන එක ලේසියි කියලා. නෑ…. මනුෂ්‍ය ලෝකයට එන්නත් ලේසි නෑ. දිව්‍ය ලෝකයට යන්නත් ලේසි නෑ. දෙකම අමාරුයි. එතකොට මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයක ඉපදුණොත් ඒ මනුෂ්‍යයන්ටයි, දෙවියන්ටයි සංසාරෙන් එතෙර වෙන්න පුළුවන්. මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන්. ඒ වගේම ඔබට හිතෙන්න පුළුවන් ‘ඒ වුණාට දිව්‍ය ලෝකයේ සැප වැඩියිනේ…’ කියලා. එහෙම එකක් නෑ. මේ මනුෂ්‍ය ලෝකයෙත් සැප තියෙනවානේ. මිනිස්සු මනුෂ්‍ය ලෝකයේ සැපට මුලාවෙනවා වගේම දෙවියන් දිව්‍ය සැපයටත් මුලාවෙනවා.

මනුෂ්‍ය ලෝකය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කළාම නුවණ තියෙන කෙනා අවබෝධ කරගන්නවා. (දුක් විඳින කෙනා නෙවෙයි, නුවණ තියෙන කෙනා අවබෝධ කරගන්නවා.) දිව්‍ය ලෝකයෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කළාම නුවණ තියෙන දෙවියන් අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේට දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ කියලා කියන්නේ ඒ නිසයි.

බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට කළ ධර්ම දේශනා සංයුත්ත නිකායේ මුල් කොටසේ හරි ලස්සනට තියෙනවා. ශක‍්‍ර දෙවියන්ට ධර්මය දේශනා කරපු ආකාරය ‘සක්කපඤ්හ’ සූත‍්‍රයේ තියෙනවා. ශක‍්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා, ධර්මය අහලා තෙරුවන් සරණ ගියා. ඒ මොහොතේම චුතවුණා. ඒ මොහොතේම ආයෙමත් ශක‍්‍රයා වෙලා උපන්නා. ඊට පස්සේ ශක‍්‍ර දෙවියෝ කියනවා ”මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා මම මෙතැන චුතවෙලා, ආයෙමත් මෙතැනටම ආවා” කියලා. ඒ කියන්නේ මේ කතා කර කර ඉන්දැද්දි චුතවෙලා ඒ වෙලාවේම එතැනම ඕපපාතිකව ඉපදිලා.

බිම්බිසාර රජ්ජුරුවෝ මරණයට පත්වෙලා උපන්නේ ‘ජනවසභ’ කියලා දිව්‍යරාජයෙක් වෙලයි. පස්සේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමත් දිව්‍ය රාජයෙක් වෙලයි ඉන්නේ.

එක තැනක තියෙනවා, විශාඛා මහෝපාසිකාව කළ පූර්වාරාම පූජාව බලාගෙන සතුටුවෙලා එයාගේ යෙහෙළියක් ‘පරනිම්මිත වසවත්තී’ කියන දිව්‍ය ලෝකයේ උපන්නා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ එයාගෙන් ඇහුවා ”ඔයා කොහොමද මේ දිව්‍ය ලෝකයේ උපන්නේ?” කියලා.

”අනේ ස්වාමීනී, විශාඛාව මගේ යෙහෙළියක්. ඇය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයාට ආරාමයක් හදලා පූජා කළා. මට හරි සතුටුයි. මම ඒක අනුමෝදන් වුණා. මට වෙන පිනක් කරගන්න හම්බ වුණේ නෑ. මම මේ දිව්‍ය ලෝකයේ උපන්නේ ඒ පිනෙන්.” බලන්න පින අපේ ජීවිතවලට සම්බන්ධ වෙන හැටි.

එහෙම නම් දිව්‍ය ලෝකයේ ඉන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉද්දී ගොඩාක් පින් කරපු අය. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල ආයුෂ පවා විස්තර කරනවා. මට මතක හැටියට මිනිස් ආයුෂ අවුරුදු හාරසියයක් තුසිත දිව්‍ය ලෝකයේ එක දවසයි. එතකොට ඒ ලෝකයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තවම දවස් හයයි හතයි.

අපි නුවණින් කල්පනා කරල බැලුවොත්, කෙනෙකුට ගෞතම බුද්ධ ශාසනය මුණගැසුනට පස්සේ එයාට ආත්මභාව තුන හතරකින් සංසාරයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේ උතුම් අවස්ථාවක් තමයි අපි අපේ මේ පණ්ඩිතකම් නිසා අහිමි කරගන්නේ. එහෙම නැතුව අපි මේ අවස්ථාව හරියටම අල්ලා ගත්තොත්, බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තොත් කවුරු මොනවා කිව්වත් තමන් ඒ මාර්ගයේ යනවා. ඒක තමයි වැදගත්ම කාරණය. දැන් අපි කතා කළේ (සත්ථා දේවමනුස්සානං) දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ කියන බුදු ගුණය ගැනයි.

→ මතු සම්බන්ධ යි…පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

කුමක්ද මේ ඡන්දය ?

මේ පින්වතුන් පසුගිය ලිපිවලින් ඉගෙන ගත් මූලික දේ තමයි සෘද්ධිපාද සතර පුරුදු කරන්නේ නැතුව අපිට නිවන අවබෝධ කරන්ට ලැබෙන්නේ නෑ කියන කාරණය. නිවන අවබෝධ කර ගන්ට නම් සතර සෘද්ධිපාද අපි පුරුදු කරගන්ට ම ඕනැ. ඒ සතර සෘද්ධිපාද පුරුදු කරගන්න කොට මූලික වශයෙන් ඡන්ද සෘද්ධිපාදය අපි ඇතිකර ගන්ට ඕනැ. බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා, “මේ සියලූ ධර්මයන් ඡන්දය මුල්වෙලා තමයි හට ගන්නේ” (මූලක සූත‍්‍රය) කියල. ධර්මයන් කියන්නේ මනසිකාරයන් මත ඇතිවන දේවල්. ඒ ඔක්කොම ඇති වන්නේ ඡන්දය මුල්වෙලා. ඡන්දය කියන්නේ කැමැත්ත. ඒ කැමැත්ත මුල්වෙලා තමයි මනසිකාරය පිහිටන්නේ. යමකට කැමති නැත්නම් ඒ ඔස්සේ මනසිකාරයක් පිහිටන්නේ නෑ. කාමයන්ට කැමති නම් ඒ කාමයන්ට කැමති වීම මත මනසිකාරය පිහිටනවා. එතකොට ඒක ‘කාමච්ඡන්දය’ විදිහට දියුණු වෙනවා. එතකොට ඒ කාමයන්ට කැමැත්ත නැත්නම් කාමයන්ට කැමති බව ඉපදෙන්නේ නෑ. එය ඉපදුනේ මනසිකාරය තුළ. කාමයන්ට තියෙන කැමැත්ත ම මුල්වෙලා මනසිකාර කරනවා. එතකොට කාමච්ඡන්දය විදිහට වැඩෙනවා. ඉතින් අන්න ඒ වගේ අපි තුළ අරහත්වයට කැමැත්ත තියෙන්ට ඕනැ. සසර දුකින් නිදහස් වීමට කැමැත්ත තියෙන්ට ඕනැ. ඒ කැමැත්ත මුල්වෙලා මනසිකාරය පිහිටනවා. අන්න එතකොට ඒ කැමැත්ත බලවත් දෙයක් බවට පත් වෙනවා. ඒකට තමයි සෘද්ධි පාදය කියන්නේ. ඡන්දය මුල්වෙලා සෘද්ධි පාදය සකස් වෙනවා. එතකොට ඒකට සෘද්ධි පාදය කියල කියන්නේ මනුෂ්‍යයාගේ ජීවිතය මුලූමනින් ම පරිවර්තනයකට ලක් කරන්ට පුළුවන් අතිශය බලවත් දෙයක් නිසා.

අපේ හිතේ තියන අකුසලය ප‍්‍රහාණය කරනවා කියන එක පුංචි දෙයක් නෙමෙයි. අතිශය අමාරු දෙයක්. නූපන් අකුසල් උපදින්නේ නැති වෙන්ට කටයුතු කරනවා කියන දෙය, අතිශය අමාරු දෙයක්. කුසල් උපදවා ගන්නවා. උපන් කුසල් ස්ථිර බවට පත්කර ගන්නවා. සම්පූර්ණ කර ගන්නවා, ඒවා අමාරු දේවල්. ලෝකෙ තියන අමාරු ම දේවල්. අන්න ඒක සිද්ධ වෙන්නේ කැමැත්ත මුල්වෙලා. ඉතින් ඒ කැමැත්ත ලෝකෙ තියන අමාරු දෙයක් උදෙසා පිහිටන නිසා තමයි ඒක සෘද්ධි පාද වෙන්නේ. නැත්නම් අපි කැමැති වෙනත් දේ ඕන තරම් තියනවානේ. ඒවා ලාමක යි. ඒව සෘද්ධි පාද වෙන්නේ නෑ. ඒ නිසා ඒ කැමැත්ත ගැන හොඳ වැටහීමක් අපි ළඟ තියෙන්ට ඕනැ.

දැන් බලන්න සසර දුක ගැන වටහීමක් නැති කෙනාට සසර දුකින් නිදහස් වෙන්ට කැමැත්තක් ඇති වෙන්නේ නෑ නේද? ඒක පැහැදිලියි නේ. ඒ ගැන වැටහීමක් නැත්නම් සසර දුකින් නිදහස් වෙන්ට ඕනැ කියන අදහසක් එන්නේ නෑ. සසර දුක ගැන තේරෙන්නේ, සසර දුක ගැන කියා දුන් භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිගැනීමෙන්. ඒ ධර්මය පිළිගත්ත කෙනා සසර දුක තේරුම් ගන්නවා. සසර දුක තේරුම් අරගෙන එයින් නිදහස් විය යුතු යි කියන අදහස ඇතිකර ගන්නවා. නිදහස් වෙන්ට කැමති වෙනවා.

එතකොට ඒ දුකින් නිදහස් වීමට තියන කැමැත්ත මුල්වෙලා තමයි දුකින් පරිපූර්ණ වශයෙන් නිදහස් වීමට එයා ආස කරන්නේ. පරිපූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙන්ට නම් අරහත්වයට පත් වෙන්ට ඕනැ. එහෙනම් එයා අතිශය බලවත් වූ කැමැත්තක්, තියුණු කැමත්තක් උපදවා ගන්නවා ඒකාන්ත වශයෙන් මේ දුකින් නිදහස් වෙන්ට ඕනැ කියල. තව ජීවිතයකට ගියා කියල අර්ථයක් නෑ. හිස් දෙයක්. තව ජීවිතයකට ගියත් වයසට යෑම තියනවා. ඒ නිසා උපන් දුක තියනවා. ලෙඩවීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම තියනවා. ඒ නිසා උපන් දුක තියනවා. අප‍්‍රියන් හා එක්වීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. මරණයට පත්වීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. කැමති දේ නොලැබීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. කායික දුක් තියනවා, මානසික දුක් තියනවා. සුසුම් හෙලීම් තියනවා. දුක් දොම්නස් තියනවා. ඊට වඩා දෙයක් මේ ජීවිතෙත් නෑ. වෙන ජීවිතේකත් නෑ. මෙන්න මෙයයි මේ ලෝකයේ තිබෙන දුක කියල යම්කිසි කෙනෙක් පිළිගත්තොත්, අවබෝධකර ගන්න තිබෙන දේ මෙයයි කියල තේරුම් ගත්තොත්, එයා අරහත්වයට පත් වෙන්ට කැමති වෙනවා. තවත් ඉදිරියට ගියා කියල අපිට ලබන්න දෙයක් නෑ. තව ටිකක් උත්සාහ කරල බලමුකෝ කියල ලබන්න දෙයක් නෑ. දැන් මේ ජීවිතේ නොලැබූ දෙයක් ඊළඟ ජීවිතයේ දී ලැබෙයි ද? එහෙම එකක් නෑ. එහෙම එකක් ලැබෙන්නේ නෑ කියල තේරුම් ගන්නේ පරම සත්‍යයක් වූ ආර්ය සත්‍යය ගැන තේරුමක් තියනවා නම් පමණ යි. ඒ පරම සත්‍යයක් වූ ආර්ය සත්‍යය තුළ තමයි අපිට කියා දෙන්නේ ‘ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සාඋපායාසා සම්භවන්ති’ කියල.

එතකොට අපිට පරම සත්‍යයක් වූ දුක ගැන, දුකේ හට ගැනීම ගැන වැටහෙනවා නම්, එයා දන්නව ඉපදුනා නම් ජරා මරණ දුක් දොම්නස්වලින් තොර දෙයක් නෑ කියල. එහෙනම් ඒ ඉපදීම කියන එක අර්ථවත් දෙයක් නෙමෙයි කියල එයා දන්නවා. ඉපදීම කියන එක අර්ථයක් උපදවන දෙයක් නෙමෙයි. ඉපදීමෙන් උපදින්නේ දුක ම යි, අර්ථවත් වටිනා දෙයක් උපදින්නේ නෑ. මේ ආකාරයෙන් ධර්මය තේරුම් ගත්තොත් එයා ඒකාන්ත වශයෙන් කළකිරෙනවා. මොකට ද කළකිරෙන්නේ? නැවත වතාවක් ඉපදීමට කළකිරෙනවා. කළකිරෙනවා කියන්නේ ඉපදීම අර්ථවත් දෙයක් නෙමේ හිස් දෙයක්, දුක් උපදවන දෙයක් කියල තේරුම් ගන්නවා. එසේ තේරුම් ගැනීම තමයි අවබෝධයෙන් කළකිරීම කියන්නේ. එහෙම තේරුම් ගත්ත කෙනා ඒ කෙරෙහි අකමැත්ත ඇති කර ගන්නවා. ඉපදීමට අකමැති වෙනවා.

එතකොට නැවත ඉපදීමක් නැති වෙන්ට නම් ඉපදීම ක්ෂය වෙන්ට ඕනැ. ඉපදීම ක්ෂය වෙන්ට නම් ඉපදෙන්න හේතුවෙන දේ ක්ෂය වෙන්ට ඕන. ඉපදෙන්ට හේතු සකස් කරල දෙන්නේ මොනවයින් ද? ආශ‍්‍රවවලින්. ආශ‍්‍රවවලින් තමා ආයෙ උපතකට ඕන දේ හදල දෙන්නෙ. අන්න එහෙම තේරුම් ගත්ත කෙනා ඉපදීමට අකමැති වෙනවා. එයා කැමති වෙනවා ආයෙ ඉපදෙන්නේ නැති පිරනිවීමට. පිරිනිවන්පාන්ට නම් අරහත්භාවයට පත්වෙන්ට ඕන. එයා අරහත්වයට කැමති වෙනවා. අරහත්වයට කැමති කෙනා ඒ කැමැත්ත මුල්වෙලා එයම හිතේ බලවත් වූ දෙයක් බවට පත්කර ගන්නවා. අන් සියලූ කැමති වීම් පහලට වැටෙනවා. කලින් ඔටුනු පලන්දගෙන හිටපු කැමති වීම් දැන් පහතට වැටෙනවා. ඒවා අවශේෂ දේවල් බවට පත් වෙනවා. අරහත්වයට කැමති හිතට අනෙකුත් කැමති වීම් අනවශ්‍ය දේවල්. හැබැයි මේ දේ එකපාරට වෙනව ද? නෑ ටික ටික තමයි සිද්ධ වෙන්නේ. තියුණු නුවණක් තියන කෙනාට සැනෙකින් වෙන්ටත් පුළුවන්. නමුත් අද යුගයේ එහෙම කල්පනා කරන්ට එපා.

මේ පින්වතුන් සමහර විට දැකල ඇති අහසේ කරනම් ගහන කට්ටිය. පුංචි ළමයි හිතනවා නේද, ‘ආ මමත් මේ විදියට කරනම් ගහන්නම්කෝ’ කියල. ඒ වගේ හැගීම් ඇතිකරගන්න එපා. ඒ අය ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් පුරුදු කරල කරපු දෙයක් ඒක. එකපාරට වෙලා නෙමෙයි ඒක. ඒකට කැමැත්තක් තියෙන්ට ඕනැ. ඒ අයගෙ කැමැත්ත තිබුණා ඵලයටත්, ඵලය උපදවා ගන්නා වැඩපිලිවෙලටත්. ඒ නිසා ආර්ය සත්‍යය හොඳින් තේරුම් අරගෙන හොඳින් ඉගෙන ගෙන තමා ගේ ජීවිතයට ගලප ගලපා බලන්න. ලෙඩවීම ගැන සිහිකරන්න, වයසට යෑම ගැන සිහිකරන්න, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ගැන සිහි කරන්න, අප‍්‍රියන් හා එක්වීම, කැමති දේ නොලැබීම, දුක් දොම්නස් උපායාස ගැන සිහි කරන්න, ඉපදීම ගැන සිහිකරන්න. මේ දේවල් තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න.

ජරා මරණ ගැන හිතන්ට බැරි කෙනාට ඉපදීම ගැන හිතන්ට අමාරු යි. ලෙඩදුක් ගැන හිතන්ට බැරි කෙනොට ඉපදීම ගැන හිතන්ට අමාරුයි. ලෙඩ දුක් මේ දැන් පෙනෙන ඒවා. ඉපදීම අමතක යි නේ ද අපිට? ඒ නිසා ඉපදීම අපිට තේරුම් ගන්ටත් අමාරු යි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියන විදිහට අපි කල්පනා කරන්ට ඕනැ. තේරුම් ගන්ට ඕනැ. ඒ නිසා අපිට තේරෙන ජරා මරණ ගැන හොඳට සිහි කරන්න. තමන්ට සිදුවෙන දේ සිහි කරන්න. ආයෙ ඉපදුනොත් ඒත් එච්චර යි. ඒ විදිහට තේරුම් ගත්තොත් අපේ හිත ක‍්‍රමක් ක‍්‍රමයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්ට කැමති වෙනවා. අන්න ඒ කැමැත්ත මුල්වෙලා එයා ක‍්‍රමක් ක‍්‍රමයෙන් අකුසලයන් දුරු කරන්ටත්, කුසල් උපදවා ගන්ටත් කැමති වෙනවා. එතකොට මේ සඳහා ඡන්දය (කැමැත්ත) නේද මුල් වෙන්නේ කියන දේ තේරුම් ගන්න. අකුසල් දුරු කරන්නත් කැමැත්ත යි උවමනා කරන්නේ. නූපන් අකුසල් උපදවන් නැතුව ඉන්නත් කැමැත්ත යි ඕන වෙන්නේ. කුසල් උපදවන්ටත්, ඉපදුන කුසල් වර්ධනයටත් කැමැත්ත ඕනැ.

කැමැත්ත තියන කෙනා වෑයම් කරනවා. එසේ වෑයම් කරද්දී තමයි වීරිය උපදින්නේ. වෑයම් නොකරන කෙනාට වීරියක් උපදින්නේ නෑ. වෑයම් කරන්ට හිතෙන්නේ, වෑයම් කිරීම සිද්ධ වෙන්නේ කැමැත්ත මුල් වෙලා. එතකොට කැමැති කෙනා වෑයම් කරනවා. වෑයම් කරන කෙනා වීරිය කරනවා. වීරිය කරන කෙනාට මොකද වෙන්නේ? වීරිය කරන්ට කරන්ට එයාගෙ සිත බලවත් වෙනවා. වීරිය කරන කෙනාට යි ප‍්‍රත්‍යක්ෂ වෙන්නේ. මේක පුළුවන්, මෙතන අර්ථයක් තියනවා, යහපතක් තියනවා, මට අවස්ථාවක් තියනවා. වීරිය කරන කෙනා සිත දැඩි කර ගන්නවා. වීරියක් කරන කෙනාට යි තේරෙන්නේ මේක කළ හැකියි කියල. මේක කළ යුතු යි කියල. එතකොට වීරිය කරන්ට පුළුවන් වෙන්නේ වෑයම් කරන කෙනාට. වෑයම් කරන්නේ ඡන්දය තියන කෙනා. ඒ විදිහට අකුසල් දුරු කරන්ටත්, කුසල් උපදවන්ටත් වෑයම් කරනවා. ඡන්දය තියෙන්නේ කාටද? ආර්ය සත්‍යය තේරුම් අරගෙන අරහත්වයට පත් වෙන්ට කැමැත්ත තියන කෙනා තුළ. එතකොට ඒක සරල කාරණයක් නම් නෙමෙයි. අතිශයින් බලවත් එකක්. එබඳු බලවත් දේ පුරුදු කරන්ට සියලූ දෙනාට ම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Extracted from an email from [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

සියලූ කුසල් උපදන මඟ…

අකුසල් බැහැර කර කර ඉන්න කෙනාට තේරෙනවා විටින් විට අකුසල් ඇවිල්ල තමන් වින්ඳ දුක් පිළිබඳව. ගින්නෙන් අත පිච්චෙන කොට එයා අත ඈතට ගන්ට කැමති වෙනවා. අත ඈතට ගත්තට පස්සේ ආයෙත් අත පිච්චෙයිද කියල එයාට හිතෙනවා. දැන් එයා ආයෙත් ගින්නට අත ලං කරන්න කැමතිද? නෑ. උපන් අකුසල් ප‍්‍රහානය කරන කෙනාට තේරෙනවා ආයෙත් අකුසල් ඉපදුනොත් මට මේ වගේ කටුක දුක් විඳින්ට වෙනවනේ කියල. ඊට පස්සේ මොකක්ද එයාට ඇතිවන හැඟීම. නූපන් අකුසල් නූපදවාගෙන ඉන්ට එයා කැමති වෙනවා. අන්න ඒකට එයා තුළ කැමැත්තක් ඉපදෙනවා. “අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති”. එහෙනම් නූපන් අකුසල් නූපදවා ගැනීමට කැමැත්තක් ඉපදෙන්නේ උපන් අකුසලයේ කර්කශ දුක දැකල ඒ දුක් බැහැර කරන්ට කැමති වුන කෙනාට. උපන් අකුසලය බැහැර කරන්ට කැමති වෙන්නේ සියලූ අකුසල් දුරු කරළ අරහත්වයට පත්වෙන්ට කැමති කෙනයි. මේ විදියට අරහත්වයට කැමති වෙන්නේ ආර්ය සත්‍යය අවබෝධයෙන් දැකලා, දුක තේරුම් ගත්ත කෙනයි. දුකින් නිදහස් වෙන්ට කැමති කෙනයි.

එතකොට එයාට ඡන්දය තියනවා. ඡන්ද සමාධිය තියනවා. පධාන සංස්කාර දැන් පටන් ගෙන. එයා උපන් අකුසලය බැහැර කරන්ට දැන් කැමති වෙනවා. මේ විදියට උපන් අකුසල් බැහැර කරන්ට කැමති කෙනා සුවපත් වෙනවා. එයාට බය දැනෙනවා ආයෙ ඉපදුනොත් මම අමාරුවෙ වැටෙනවා. එක සැරයක් රාගයෙන් බැට කාපු කෙනා, ඒක තේරුම් ගත්ත කෙනා, ආයෙත් ඒ විදිහට දුක් විඳින්ට කැමති නෑ. උපන් රාගය දුරු කරපු කෙනා සුවපත් බවක් විඳිනවා. දැන් එයා රාගයේ පීඩාව දන්නවා. අකුසලයේ පීඩාව දන්නවා. අකුසල් ප‍්‍රහානය කිරීමෙන් උපදින සුවපත් බවත් දන්නවා. දැන් එයා අකුසලයේ තියන පීඩාවට බයයි. එහෙනම් අකුසලයෙන් පීඩා විඳින්න බයයි. අකුසලය නිරුද්ධ වීමේ සැපට කැමතියි. අන්න එයා නූපන් අකුසල් උපද්දවා නොගන්න කැමතියි. අන්න එයා ඉන්ද්‍රිය සංවරය කරනවා. නොයෙකුත් ආකාරයේ කුසල් උපදවා ගන්නවා.

දැන් එයා නූපන් අකුසල් උපදවා නොගෙන ඉන්ට කටයුතු කරනවා.නූපන් අකුසල් උපදවා නොගෙන ඉන්ට කැමති වෙනවා, වෑයම් කරනවා, සිත දැඩි කරනවා, බලවත් සේ කටයුතු කරනවා. එතකොට එයා තුළ අකුසල් ප‍්‍රහානය කිරීම පිණිස උවමනා අංග දෙකම තියනවා. ඒ විදිහට වෑයම් කරන කෙනාට නූපන් කුසල් උපදවා ගන්ට කැමැත්ත ඉපදෙනවා. එයා නූපන් අකුසල් නූපදවා ගන්ට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්ට ඕන. සම්පජඤ්ඤය පුරුදු කර ගන්ට ඕන. එයා හිතනවා, මම මේව පුරුදු කර ගන්න ඕන කියල. දැන් ඒ සඳහා එයා තුල කැමැත්ත ඉපදිලා. කැමැත්ත ඉපදුනේ අකුසලයේ විපාක දැක්කා. ඒ අකුසල් ප‍්‍රහානය කිරීමේ සුවපහසුව දැක්කා. දැකල සතුටු වුනා. දැන් එයාට කැමැත්ත උපදිනවා. “අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති” අන්න එයා නූපන් කුසල් උපදවන්ට කැමතියි. ඉන්ද්‍රිය සංවරයට කැමතියි, සම්පඤ්ඤයට කැමැතියි, සිල්පද රැක ගන්න කැමතියි, බණ අහන්න කැමතියි, දන් දෙන්ට කැමතියි. දැන් නූපන් කුසල් උපදවා ගන්ට කැමතියි.

බලන්න අනුපිළිවෙලට පුරුදු වීමේ ක‍්‍රමයක් නේද මේ තියෙන්නේ? අපිට ඕන ඕන දේ සිද්ධ වෙනවද? නෑ. දැන් මොකද එයා කරන්නේ ඒ කැමැත්ත මුල් වෙලා වෑයම් කරනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට වෑයම් කරනවා. මේ විදියට පුරුදු කරන්න දන්නේ නැත්නම් අහනව, ‘ස්වාමීන් වහන්ස කොහොමද මේක කරන්නේ’ කියල. අන්න වෑයම් කිරීමේ ප‍්‍රතිවිපාක. එයාට තවත් කුසලයක් උපදිනවා මොකක්ද? භික්ෂූන් වහන්සේ දකින්න කැමැත්ත උපදිනවා. ඊට පස්සේ එයාට ධර්මය අහන්න කැමැත්ත උපදිනවා. ඇසූ ධර්මයේ අර්ථය විඳගන්ට කැමැත්ත ඉපදෙනවා. ඒ ඇසූ ධර්මයේ අර්ථය දරා ගන්ට කැමැත්ත ඉපදෙනවා. දරාගත් ධර්මයේ අර්ථය විමසන්ට කැමැත්ත ඉපදෙනවා. ඒ විමසන ධර්මය පුරුදු කරන්ට කැමැත්ත ඉපදෙනවා. එයා දැන් ධම්මානු ධම්ම පටිපදාවට එනවා. නූපන් කුසලය උපදවා ගන්න එයා කැමතියි. දැන් එතකොට එයා උපන් අකුසල් බැහැර කරනවා, නූපන් අකුසල් උපද්දවා ගන්නෙ නැතුව ඉන්ට වෑයම් කරනවා. නූපන් කුසල් උපදවා ගන්නවා. දැන් එතකොට එයා තුළ අකුසල් ප‍්‍රහානය වෙනවා කුසල් ඉපදෙනවා. දැන් එයාට දුක්පීඩා බැහැර වෙනවා. සුවපහසුව අත් වෙනවා.

දුක් පීඩා බැහැර වෙද්දි ඒ දුකට ආයෙ යන්න එයා කැමතිද? කැමති වෙන්නේ නෑ. අන්න එයා උපන් කුසලය වැඩි දියුණු කර ගන්න කැමැත්ත උපදවා ගන්නවා. එයාට හිතෙනවා අනේ මේක නොනැසී තියාගන්ට ඕනැ. එසේ නොනැසී තියාගන්නත් එයා කැමති වෙනවා. ඊට පස්සේ එයා හිතනවා මේක බලවත් කර ගන්ට ඕනැ, විපුල බවට පත්කර ගන්ට ඕනෑ කියල. මේ විදිහට එයා කටයුතු කරන කොට එයාට තේරෙනවා මේක සම්පූර්ණ කර ගන්ට බණ භාවනා කර ගන්ට ඕනැ. බණ භාවනා කළොත් මේ කුසල් සම්පූර්ණ වෙනවා. සීලය පිරෙනවා. සිතේ යම් සමාධියක් තියනවා නම් සමාධිය සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය සංවරය ආදී දේවල් සම්පූර්ණ වෙනවා කියල එයාට තේරෙනවා. අන්න එයා හිතනවා මම භාවනා කළ යුතුයි. මක්නිසාද යත් උපන් කුසල් පරිපූර්ණ කිරීම පිණිස. එයා තුළ කැමැත්ත ඉපදෙනවා. ඊට පස්සේ කැමැත්ත ඉපදුන කෙනා ඒකට වෑයම් කරනවා. හේන වපුරන්න කැමති කෙනා වෑයම් කරනවා නේද? කැලේ සුද්ද කරනවා, කානු දානවා, පස් බුරුල් කරනවා. හේන වපුරන්න කැමති නැති කෙනා අත්දෙක බැදගෙන ඉන්නවා. දැන්නම් බෑ කවුරුහරි ගේනවා නම් මොනවා හරි කියල හිතනවා. අමාරුයි කියනවා. නමුත් කැමැත්ත තියනවා නම් එයා හිමින් හිමින් වෑයම් කරනවා. මේ වෑයම කියන එක තියෙන්නේ හිමින් හිමින්. එකපාරට ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ නෙමෙයි. ගහක මලක් පිපෙනවා වගේ හෙමින් හෙමින් සිදුවෙන දෙයක්. පැහැදිලි ද? අන්න ඒ වගේ තමා මේ නිවන් මග කෙනෙක් තුළ ප‍්‍රකට වෙලා, පිහිටල ක‍්‍රමානුකූලව දියුණු වෙලා පරිපූර්ණ වෙන්නේ.

දැන් ඔබට තේරෙනවද ඡන්දය කියන්නේ කුමක්ද කියල? අරහත්වයට පත් වෙන්ට තියෙන කැමැත්ත. එයින් එහා දෙයක් නොවෙයි. එහෙනම් ඒක කොහොමද හට ගන්නේ? ආර්ය සත්‍යය ඉගෙන ගෙන, ආර්ය සත්‍යය තේරුම් ගැනීමෙන්මයි. වෙනත් විදිහකින් නෙමෙයි. එහෙනම් ආර්ය සත්‍යය පිළිබද අවබෝධය ඇති කර ගන්නේ කොහොමද? ආර්ය සත්‍යය ඇසීමෙන් මයි, වෙනත් විදිහකින් නෙමේමයි. ආර්ය සත්‍යය අහන්නේ කොහොමද? කල්‍යාණ මිත‍්‍ර ඇසුරෙන්. මට මේ ධර්මය අවබෝධකර ගන්ට ඕනෑ කියන කැමැත්ත උපදවගෙන, කන් යොමාගෙන, සිත පිහිටුවාගෙන ආර්ය සත්‍යය අහන්ට ඕන. ඒ ඇසූ ආර්ය සත්‍යය දරාගෙන අර්ථ විමසන කොට ආර්ය සත්‍යය තේරෙනවා. අන්න එයාට සසර බිය උපදිනවා,සසරින් නිදහස් වෙන්ට කැමැත්ත ඇතිවෙනවා. එයා අරහත්වයට පත් වෙන්ට කැමති වෙනවා.

එයා තුළ ඒ කැමැත්ම මුල්වෙලා සිතේ එකඟතාව තියනවා. ඒකට කියනවා ඡන්දසමාධිය කියලා. එයා හතර ආකාරයකින් ක‍්‍රමක් ක‍්‍රමයෙන් ක‍්‍රමක් ක‍්‍රමයෙන් අකුසල් ප‍්‍රහානය කරන්ටත්, කුසල් උපදවෙගෙන ඒව පරිපූර්ණ කරගන්ටත් කටයුතු කෙරෙනවා. ඒවට කියනවා පධාන සංකාර කියල. අන්න ඒ විදිහට කටයුතු කරන කොට, එයා තුළ ඡන්දය තියනවා. ඡන්ද සමාධිය තියනවා. පධාන සංකාරයන් තියනවා. එතකොට එයා ඒ කටයුතු තුනෙන් යුක්තව වාසය කරනවා. ඡන්දසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වන ඉර්ධිපාදය වඩන කෙනෙක් බවට පත් වෙනවා.

මේ විදිහට කටයුතු කරන කොට මෙයා අරහත්වයට පත් වෙන්ට වීරියක් උපදවා ගන්නවා. එතකොට එයාට අරහත්වයට පත් වෙන්ට උවමනා වීරිය තියනවා. ඒකම පවත්වන්න පවත්වන්න සිත එකඟ වෙනවා. ඒක වීරිය නිසා උපන් සමාධිය, වීරිය සමාධිය. දැන් අර කලින් වගේම අකුසල් ප‍්‍රහානය කරන්ටත් කැමැත්ත උපදවගෙන වෑයම් කරමින් වීරිය උපදව ගන්නවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. එතකොට එයා තුළ වීරිය තියනවා, වීරිය සමාධිය තියනවා, පධාන සංකාර තියනවා. ඒකට කියනවා විරියසමාධිපධාන සංකාරවලින් යුක්ත වූ ඉර්ධිපාදය වඩනවා කියල.

ඒ විදිහට වාසය කරන කොට එයා තුළ අරහත්වයට පත්වීම පිණිස සිත පිහිටනවා. අන්න ඒකට “චිත්ත” කියල කියනවා. අන්න ඒ සිතෙන්ම ඉන්නකොට ඒ ඔස්සේ සිත එකග වෙනවා. ඒකට කියනවා චිත්ත සමාධිය කියල. ඒ චිත්ත සමාධියෙන් යුක්තව වාසය කරන කෙනා හතර ආකාරයකින් පධාන සංකාර පුරුදු කරනවා, අකුසල් බැහැර කරන්නටත්, කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්නටත්. එතකොට එයා තුළ අරහත්වයට පත්වීමට කැමති සිත තියනවා. ඒ නිසා උපන් සමාධිය තියෙනවා. පධාන සංකාර තියනවා. ඒ අංග තුනෙන් යුක්තව වාසය කිරීම චිත්ත සමාධි පධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය වඩනවා කියල කියනවා.

එතකොට එයා තුළ විමසීමක් හට ගන්නවා. ධර්මය විමසනවා. දුක කියන්නේ කුමක්ද..? දුකේ හට ගැනීම මොකක්ද..? දුකේ නැතිවීම මොකක්ද..? දුක් නැති කරන විදිහ මොකක්ද..? මේ විදිහට එයා විමසනවා. ඊලගට එයා පටිච්ච සමුප්පාදය විමසනවා. ආර්ය සත්‍යය තේරුම් ගන්න කෙනා,භග්‍යවතුන් වහන්සේ කියා දීල තියන විදිහට පටිච්ච සමුප්පාදය ගැන විමසනවා. ජරා මරණ කියන්නේ කුමක්ද? ජරා මරණ හටගන්නේ කොහොමද? මේ ආකාරයට ජරා මරණ ගැන විමසනවා. ජරා මරණවලට හේතුව විමසනවා. ඒ වගේම ජරා මරණ නැතිවීම ගැන විමසනවා. ජරා මරණ නැතිවීම පිණිස පවතින ප‍්‍රතිපදාව විමසනවා. මේ විදිහට එයා රූපය ගැන විමසනවා. රූපය හට ගැනීම ගැන විමසනවා, රූපයේ නැතිවීම ගැන විමසනවා. ඇස ගැන විමසනවා. ඇසේ හට ගැනීම ගැන විමසනවා. ඇසේ නැති වීම ගැන විමසනවා. දැන් එයා තුළ වීමංසාව තියනවා. එතකොට වීමංසාවෙන් යුක්තව වාසය කරන කොට එයාට සිත එකඟ වෙනවා. ඒකට කියනවා ‘වීමංසා සමාධිය’ කියල. එයා උපන් අකුසල් ප‍්‍රහානය කර ගන්නටත්, කුසල් උපදවගෙන බලවත් කරගෙන පරිපූර්ණ කරගන්නටත් කැමැත්ත ඇති කර ගන්නවා. අන්න ඒ කැමැත්ත මුල්වෙලා වෑයම් කරනවා, විරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. එතකොට එයා අකුසල් ප‍්‍රහානය කරමින් කුසල් උපදවගෙන සම්පූර්ණ කර ගනිමින් වාසය කරනවා. එතකොට අරහත්වයට පත්වීම සඳහා විමසීම තියනවා, විමසීම නිසා සමාධිය ඇති වෙනවා. එයා කාරණා හතරකින් යුක්තව පධාන සංකාර පවත්වනවා. අන්න ඒ විදිහට වාසය කරන කොට ඒකට කියනවා ‘වීමංසාසමාධිපධාන සංකාරයෙන් යුක්ත වූ ඉර්ධිපාදය’ වඩනවා කියල.

දැන් අපිට ඉර්ධිපාද වැඞීමේ අනිවාර්ය අවශ්‍යතාවය ගැන වැටහීමක් තිබිය යුතුයි. එසේ ඉර්ධිපාද වැඞීමෙන් තොරව අපිට දියුණුවක් අත් කර ගන්ට බෑ කියන අදහසත් අප තුල තිබිය යුතුයි. අපි කල්පනා කරන්නේ මේ වන විට ඉද්ධිපාද ගැන යම් වැටහීමක් දැන් ඇතිවී තිබිය යුතුයි කියලයි. ඒ විදියේ වැටහීමක් ඇතිවෙලා නැත්නම් ඉදිරියේදී ඇති කර ගන්ට පුළුවන්. මේ දේවල්, ගහෙන් ගෙඩි වැටෙන නියායෙන් පාවිච්චි කරන්ට එපා.

ගහෙන් ගෙඩි වැටෙන එක, එක නියායක්. මල පිපිල ගෙඩි හැදිල එහෙම සිද්ධවීම තවත් නියායක්. නමුත් ලෝකේ බොහෝ අය මේ ධර්මාවබෝධය ඇතිවීම ගැන හිතන්නේ ගෙඩි වැටෙන නියායට. මල පිපිල ගෙඩි හැදෙන නියායට කැමති නෑ. ගෙවල් හදන්න, ඇඳුම් මහන්න, කෑම උයන්න ඒව මල පිපිල ගෙඩි හැදෙන නියායට දානව. ධර්ම අවබෝධය කරන්ට පුරුදු වෙන එක ගෙඩි වැටෙන නියායෙන් ගන්නව. ඉතින් ඒ විදියට කර ගන්න බෑ. මම සමාධිය එක පාරට හදාගන්නවා කියල හිතනවා. ඒක ගහෙන් ගෙඩි වැටෙන නියායයි. අපි හිතන්නේ ඉඳගත්ත ගමන් මම සමාධිය උපදවා ගන්නවා කියල. ඊට පස්සෙ කියනවා අනේ බෑනේ කියල.

එහෙම එක පාරටම හදිස්සියෙන් මේක කරන්ට බැරි බව දැන් අපි තේරුම් ගත යුතුයි. මේක දීර්ඝ වැඩපිලිවෙලක්, ඉතාම නුවණින් කල්පනා කළ යුතු වැඩපිළිවෙලක්, අතිශය ගැඹුරු ගම්භීර වැඩපිළිවෙලක්, සියුම්ව තෝරා බේරා ගත යුතු වැඩපිළිවෙලක්, ඒකායන වැඩපිලිවෙලක්, තවත් මගක් නැති වැඩපිලිවෙලක් තමයි ධර්ම අවබෝධය පිණිස පවතින්නේ කියල අපි තේරුම්ගත යුතුයි. ඒ වැඩපිලිවෙලේ ආරම්භයට නොපැමිණ, අනුපිළිවෙල පුරුදු නොකොට, ඉවසීම රහිතව ධර්ම මාර්ගයේ ප‍්‍රතිඵල දිනා ගැනීමක් තබා ධර්ම මාර්ගය අහලකට පැමිණීමක්වත් සිදු නොවන බව අපි තේරුම් ගත යුතුයි.

අපි සියලූ දෙනාටම සෙත් පතනවා ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකායන නිවන් මග විදිහට අපිට පෙන්වා දෙන මේ උතුම් නිවන් මග පුරුදු කර ගැනීම පිණිස අනිවාර්යෙන්ම උවමනා කරන මේ උතුම් පරම ගම්භීර වූ ධර්මය වන ඒ සතර ඉද්ධිපාද ධර්මයෝ මැනවින් තේරුම් ගෙන ඒ උතුම් ධර්මයන් කෙරෙහි බලවත් වූ ප‍්‍රසාදයෙන් යුක්ත වූ, ගෞරවයෙන් යුක්ත වූ අදහස ඇතුව ඒ උතුම් ධර්මයෝ පුරුදු කර ගැනීම පිණිස බලවත් වූ කැමැත්ත ඇතිකර ගැනීමට දුර්ලභ වූ භාග්‍යය සියලූ දෙනාටම උදාවේවා කියල.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Extracted from an email from "Lucky Abey [wl.abey (at) gmail (dot) com]"