Wednesday, May 9, 2012

සියලූ කුසල් උපදන මඟ…

අකුසල් බැහැර කර කර ඉන්න කෙනාට තේරෙනවා විටින් විට අකුසල් ඇවිල්ල තමන් වින්ඳ දුක් පිළිබඳව. ගින්නෙන් අත පිච්චෙන කොට එයා අත ඈතට ගන්ට කැමති වෙනවා. අත ඈතට ගත්තට පස්සේ ආයෙත් අත පිච්චෙයිද කියල එයාට හිතෙනවා. දැන් එයා ආයෙත් ගින්නට අත ලං කරන්න කැමතිද? නෑ. උපන් අකුසල් ප‍්‍රහානය කරන කෙනාට තේරෙනවා ආයෙත් අකුසල් ඉපදුනොත් මට මේ වගේ කටුක දුක් විඳින්ට වෙනවනේ කියල. ඊට පස්සේ මොකක්ද එයාට ඇතිවන හැඟීම. නූපන් අකුසල් නූපදවාගෙන ඉන්ට එයා කැමති වෙනවා. අන්න ඒකට එයා තුළ කැමැත්තක් ඉපදෙනවා. “අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති”. එහෙනම් නූපන් අකුසල් නූපදවා ගැනීමට කැමැත්තක් ඉපදෙන්නේ උපන් අකුසලයේ කර්කශ දුක දැකල ඒ දුක් බැහැර කරන්ට කැමති වුන කෙනාට. උපන් අකුසලය බැහැර කරන්ට කැමති වෙන්නේ සියලූ අකුසල් දුරු කරළ අරහත්වයට පත්වෙන්ට කැමති කෙනයි. මේ විදියට අරහත්වයට කැමති වෙන්නේ ආර්ය සත්‍යය අවබෝධයෙන් දැකලා, දුක තේරුම් ගත්ත කෙනයි. දුකින් නිදහස් වෙන්ට කැමති කෙනයි.

එතකොට එයාට ඡන්දය තියනවා. ඡන්ද සමාධිය තියනවා. පධාන සංස්කාර දැන් පටන් ගෙන. එයා උපන් අකුසලය බැහැර කරන්ට දැන් කැමති වෙනවා. මේ විදියට උපන් අකුසල් බැහැර කරන්ට කැමති කෙනා සුවපත් වෙනවා. එයාට බය දැනෙනවා ආයෙ ඉපදුනොත් මම අමාරුවෙ වැටෙනවා. එක සැරයක් රාගයෙන් බැට කාපු කෙනා, ඒක තේරුම් ගත්ත කෙනා, ආයෙත් ඒ විදිහට දුක් විඳින්ට කැමති නෑ. උපන් රාගය දුරු කරපු කෙනා සුවපත් බවක් විඳිනවා. දැන් එයා රාගයේ පීඩාව දන්නවා. අකුසලයේ පීඩාව දන්නවා. අකුසල් ප‍්‍රහානය කිරීමෙන් උපදින සුවපත් බවත් දන්නවා. දැන් එයා අකුසලයේ තියන පීඩාවට බයයි. එහෙනම් අකුසලයෙන් පීඩා විඳින්න බයයි. අකුසලය නිරුද්ධ වීමේ සැපට කැමතියි. අන්න එයා නූපන් අකුසල් උපද්දවා නොගන්න කැමතියි. අන්න එයා ඉන්ද්‍රිය සංවරය කරනවා. නොයෙකුත් ආකාරයේ කුසල් උපදවා ගන්නවා.

දැන් එයා නූපන් අකුසල් උපදවා නොගෙන ඉන්ට කටයුතු කරනවා.නූපන් අකුසල් උපදවා නොගෙන ඉන්ට කැමති වෙනවා, වෑයම් කරනවා, සිත දැඩි කරනවා, බලවත් සේ කටයුතු කරනවා. එතකොට එයා තුළ අකුසල් ප‍්‍රහානය කිරීම පිණිස උවමනා අංග දෙකම තියනවා. ඒ විදිහට වෑයම් කරන කෙනාට නූපන් කුසල් උපදවා ගන්ට කැමැත්ත ඉපදෙනවා. එයා නූපන් අකුසල් නූපදවා ගන්ට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්ට ඕන. සම්පජඤ්ඤය පුරුදු කර ගන්ට ඕන. එයා හිතනවා, මම මේව පුරුදු කර ගන්න ඕන කියල. දැන් ඒ සඳහා එයා තුල කැමැත්ත ඉපදිලා. කැමැත්ත ඉපදුනේ අකුසලයේ විපාක දැක්කා. ඒ අකුසල් ප‍්‍රහානය කිරීමේ සුවපහසුව දැක්කා. දැකල සතුටු වුනා. දැන් එයාට කැමැත්ත උපදිනවා. “අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති” අන්න එයා නූපන් කුසල් උපදවන්ට කැමතියි. ඉන්ද්‍රිය සංවරයට කැමතියි, සම්පඤ්ඤයට කැමැතියි, සිල්පද රැක ගන්න කැමතියි, බණ අහන්න කැමතියි, දන් දෙන්ට කැමතියි. දැන් නූපන් කුසල් උපදවා ගන්ට කැමතියි.

බලන්න අනුපිළිවෙලට පුරුදු වීමේ ක‍්‍රමයක් නේද මේ තියෙන්නේ? අපිට ඕන ඕන දේ සිද්ධ වෙනවද? නෑ. දැන් මොකද එයා කරන්නේ ඒ කැමැත්ත මුල් වෙලා වෑයම් කරනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට වෑයම් කරනවා. මේ විදියට පුරුදු කරන්න දන්නේ නැත්නම් අහනව, ‘ස්වාමීන් වහන්ස කොහොමද මේක කරන්නේ’ කියල. අන්න වෑයම් කිරීමේ ප‍්‍රතිවිපාක. එයාට තවත් කුසලයක් උපදිනවා මොකක්ද? භික්ෂූන් වහන්සේ දකින්න කැමැත්ත උපදිනවා. ඊට පස්සේ එයාට ධර්මය අහන්න කැමැත්ත උපදිනවා. ඇසූ ධර්මයේ අර්ථය විඳගන්ට කැමැත්ත ඉපදෙනවා. ඒ ඇසූ ධර්මයේ අර්ථය දරා ගන්ට කැමැත්ත ඉපදෙනවා. දරාගත් ධර්මයේ අර්ථය විමසන්ට කැමැත්ත ඉපදෙනවා. ඒ විමසන ධර්මය පුරුදු කරන්ට කැමැත්ත ඉපදෙනවා. එයා දැන් ධම්මානු ධම්ම පටිපදාවට එනවා. නූපන් කුසලය උපදවා ගන්න එයා කැමතියි. දැන් එතකොට එයා උපන් අකුසල් බැහැර කරනවා, නූපන් අකුසල් උපද්දවා ගන්නෙ නැතුව ඉන්ට වෑයම් කරනවා. නූපන් කුසල් උපදවා ගන්නවා. දැන් එතකොට එයා තුළ අකුසල් ප‍්‍රහානය වෙනවා කුසල් ඉපදෙනවා. දැන් එයාට දුක්පීඩා බැහැර වෙනවා. සුවපහසුව අත් වෙනවා.

දුක් පීඩා බැහැර වෙද්දි ඒ දුකට ආයෙ යන්න එයා කැමතිද? කැමති වෙන්නේ නෑ. අන්න එයා උපන් කුසලය වැඩි දියුණු කර ගන්න කැමැත්ත උපදවා ගන්නවා. එයාට හිතෙනවා අනේ මේක නොනැසී තියාගන්ට ඕනැ. එසේ නොනැසී තියාගන්නත් එයා කැමති වෙනවා. ඊට පස්සේ එයා හිතනවා මේක බලවත් කර ගන්ට ඕනැ, විපුල බවට පත්කර ගන්ට ඕනෑ කියල. මේ විදිහට එයා කටයුතු කරන කොට එයාට තේරෙනවා මේක සම්පූර්ණ කර ගන්ට බණ භාවනා කර ගන්ට ඕනැ. බණ භාවනා කළොත් මේ කුසල් සම්පූර්ණ වෙනවා. සීලය පිරෙනවා. සිතේ යම් සමාධියක් තියනවා නම් සමාධිය සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය සංවරය ආදී දේවල් සම්පූර්ණ වෙනවා කියල එයාට තේරෙනවා. අන්න එයා හිතනවා මම භාවනා කළ යුතුයි. මක්නිසාද යත් උපන් කුසල් පරිපූර්ණ කිරීම පිණිස. එයා තුළ කැමැත්ත ඉපදෙනවා. ඊට පස්සේ කැමැත්ත ඉපදුන කෙනා ඒකට වෑයම් කරනවා. හේන වපුරන්න කැමති කෙනා වෑයම් කරනවා නේද? කැලේ සුද්ද කරනවා, කානු දානවා, පස් බුරුල් කරනවා. හේන වපුරන්න කැමති නැති කෙනා අත්දෙක බැදගෙන ඉන්නවා. දැන්නම් බෑ කවුරුහරි ගේනවා නම් මොනවා හරි කියල හිතනවා. අමාරුයි කියනවා. නමුත් කැමැත්ත තියනවා නම් එයා හිමින් හිමින් වෑයම් කරනවා. මේ වෑයම කියන එක තියෙන්නේ හිමින් හිමින්. එකපාරට ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ නෙමෙයි. ගහක මලක් පිපෙනවා වගේ හෙමින් හෙමින් සිදුවෙන දෙයක්. පැහැදිලි ද? අන්න ඒ වගේ තමා මේ නිවන් මග කෙනෙක් තුළ ප‍්‍රකට වෙලා, පිහිටල ක‍්‍රමානුකූලව දියුණු වෙලා පරිපූර්ණ වෙන්නේ.

දැන් ඔබට තේරෙනවද ඡන්දය කියන්නේ කුමක්ද කියල? අරහත්වයට පත් වෙන්ට තියෙන කැමැත්ත. එයින් එහා දෙයක් නොවෙයි. එහෙනම් ඒක කොහොමද හට ගන්නේ? ආර්ය සත්‍යය ඉගෙන ගෙන, ආර්ය සත්‍යය තේරුම් ගැනීමෙන්මයි. වෙනත් විදිහකින් නෙමෙයි. එහෙනම් ආර්ය සත්‍යය පිළිබද අවබෝධය ඇති කර ගන්නේ කොහොමද? ආර්ය සත්‍යය ඇසීමෙන් මයි, වෙනත් විදිහකින් නෙමේමයි. ආර්ය සත්‍යය අහන්නේ කොහොමද? කල්‍යාණ මිත‍්‍ර ඇසුරෙන්. මට මේ ධර්මය අවබෝධකර ගන්ට ඕනෑ කියන කැමැත්ත උපදවගෙන, කන් යොමාගෙන, සිත පිහිටුවාගෙන ආර්ය සත්‍යය අහන්ට ඕන. ඒ ඇසූ ආර්ය සත්‍යය දරාගෙන අර්ථ විමසන කොට ආර්ය සත්‍යය තේරෙනවා. අන්න එයාට සසර බිය උපදිනවා,සසරින් නිදහස් වෙන්ට කැමැත්ත ඇතිවෙනවා. එයා අරහත්වයට පත් වෙන්ට කැමති වෙනවා.

එයා තුළ ඒ කැමැත්ම මුල්වෙලා සිතේ එකඟතාව තියනවා. ඒකට කියනවා ඡන්දසමාධිය කියලා. එයා හතර ආකාරයකින් ක‍්‍රමක් ක‍්‍රමයෙන් ක‍්‍රමක් ක‍්‍රමයෙන් අකුසල් ප‍්‍රහානය කරන්ටත්, කුසල් උපදවෙගෙන ඒව පරිපූර්ණ කරගන්ටත් කටයුතු කෙරෙනවා. ඒවට කියනවා පධාන සංකාර කියල. අන්න ඒ විදිහට කටයුතු කරන කොට, එයා තුළ ඡන්දය තියනවා. ඡන්ද සමාධිය තියනවා. පධාන සංකාරයන් තියනවා. එතකොට එයා ඒ කටයුතු තුනෙන් යුක්තව වාසය කරනවා. ඡන්දසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වන ඉර්ධිපාදය වඩන කෙනෙක් බවට පත් වෙනවා.

මේ විදිහට කටයුතු කරන කොට මෙයා අරහත්වයට පත් වෙන්ට වීරියක් උපදවා ගන්නවා. එතකොට එයාට අරහත්වයට පත් වෙන්ට උවමනා වීරිය තියනවා. ඒකම පවත්වන්න පවත්වන්න සිත එකඟ වෙනවා. ඒක වීරිය නිසා උපන් සමාධිය, වීරිය සමාධිය. දැන් අර කලින් වගේම අකුසල් ප‍්‍රහානය කරන්ටත් කැමැත්ත උපදවගෙන වෑයම් කරමින් වීරිය උපදව ගන්නවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. එතකොට එයා තුළ වීරිය තියනවා, වීරිය සමාධිය තියනවා, පධාන සංකාර තියනවා. ඒකට කියනවා විරියසමාධිපධාන සංකාරවලින් යුක්ත වූ ඉර්ධිපාදය වඩනවා කියල.

ඒ විදිහට වාසය කරන කොට එයා තුළ අරහත්වයට පත්වීම පිණිස සිත පිහිටනවා. අන්න ඒකට “චිත්ත” කියල කියනවා. අන්න ඒ සිතෙන්ම ඉන්නකොට ඒ ඔස්සේ සිත එකග වෙනවා. ඒකට කියනවා චිත්ත සමාධිය කියල. ඒ චිත්ත සමාධියෙන් යුක්තව වාසය කරන කෙනා හතර ආකාරයකින් පධාන සංකාර පුරුදු කරනවා, අකුසල් බැහැර කරන්නටත්, කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්නටත්. එතකොට එයා තුළ අරහත්වයට පත්වීමට කැමති සිත තියනවා. ඒ නිසා උපන් සමාධිය තියෙනවා. පධාන සංකාර තියනවා. ඒ අංග තුනෙන් යුක්තව වාසය කිරීම චිත්ත සමාධි පධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය වඩනවා කියල කියනවා.

එතකොට එයා තුළ විමසීමක් හට ගන්නවා. ධර්මය විමසනවා. දුක කියන්නේ කුමක්ද..? දුකේ හට ගැනීම මොකක්ද..? දුකේ නැතිවීම මොකක්ද..? දුක් නැති කරන විදිහ මොකක්ද..? මේ විදිහට එයා විමසනවා. ඊලගට එයා පටිච්ච සමුප්පාදය විමසනවා. ආර්ය සත්‍යය තේරුම් ගන්න කෙනා,භග්‍යවතුන් වහන්සේ කියා දීල තියන විදිහට පටිච්ච සමුප්පාදය ගැන විමසනවා. ජරා මරණ කියන්නේ කුමක්ද? ජරා මරණ හටගන්නේ කොහොමද? මේ ආකාරයට ජරා මරණ ගැන විමසනවා. ජරා මරණවලට හේතුව විමසනවා. ඒ වගේම ජරා මරණ නැතිවීම ගැන විමසනවා. ජරා මරණ නැතිවීම පිණිස පවතින ප‍්‍රතිපදාව විමසනවා. මේ විදිහට එයා රූපය ගැන විමසනවා. රූපය හට ගැනීම ගැන විමසනවා, රූපයේ නැතිවීම ගැන විමසනවා. ඇස ගැන විමසනවා. ඇසේ හට ගැනීම ගැන විමසනවා. ඇසේ නැති වීම ගැන විමසනවා. දැන් එයා තුළ වීමංසාව තියනවා. එතකොට වීමංසාවෙන් යුක්තව වාසය කරන කොට එයාට සිත එකඟ වෙනවා. ඒකට කියනවා ‘වීමංසා සමාධිය’ කියල. එයා උපන් අකුසල් ප‍්‍රහානය කර ගන්නටත්, කුසල් උපදවගෙන බලවත් කරගෙන පරිපූර්ණ කරගන්නටත් කැමැත්ත ඇති කර ගන්නවා. අන්න ඒ කැමැත්ත මුල්වෙලා වෑයම් කරනවා, විරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. එතකොට එයා අකුසල් ප‍්‍රහානය කරමින් කුසල් උපදවගෙන සම්පූර්ණ කර ගනිමින් වාසය කරනවා. එතකොට අරහත්වයට පත්වීම සඳහා විමසීම තියනවා, විමසීම නිසා සමාධිය ඇති වෙනවා. එයා කාරණා හතරකින් යුක්තව පධාන සංකාර පවත්වනවා. අන්න ඒ විදිහට වාසය කරන කොට ඒකට කියනවා ‘වීමංසාසමාධිපධාන සංකාරයෙන් යුක්ත වූ ඉර්ධිපාදය’ වඩනවා කියල.

දැන් අපිට ඉර්ධිපාද වැඞීමේ අනිවාර්ය අවශ්‍යතාවය ගැන වැටහීමක් තිබිය යුතුයි. එසේ ඉර්ධිපාද වැඞීමෙන් තොරව අපිට දියුණුවක් අත් කර ගන්ට බෑ කියන අදහසත් අප තුල තිබිය යුතුයි. අපි කල්පනා කරන්නේ මේ වන විට ඉද්ධිපාද ගැන යම් වැටහීමක් දැන් ඇතිවී තිබිය යුතුයි කියලයි. ඒ විදියේ වැටහීමක් ඇතිවෙලා නැත්නම් ඉදිරියේදී ඇති කර ගන්ට පුළුවන්. මේ දේවල්, ගහෙන් ගෙඩි වැටෙන නියායෙන් පාවිච්චි කරන්ට එපා.

ගහෙන් ගෙඩි වැටෙන එක, එක නියායක්. මල පිපිල ගෙඩි හැදිල එහෙම සිද්ධවීම තවත් නියායක්. නමුත් ලෝකේ බොහෝ අය මේ ධර්මාවබෝධය ඇතිවීම ගැන හිතන්නේ ගෙඩි වැටෙන නියායට. මල පිපිල ගෙඩි හැදෙන නියායට කැමති නෑ. ගෙවල් හදන්න, ඇඳුම් මහන්න, කෑම උයන්න ඒව මල පිපිල ගෙඩි හැදෙන නියායට දානව. ධර්ම අවබෝධය කරන්ට පුරුදු වෙන එක ගෙඩි වැටෙන නියායෙන් ගන්නව. ඉතින් ඒ විදියට කර ගන්න බෑ. මම සමාධිය එක පාරට හදාගන්නවා කියල හිතනවා. ඒක ගහෙන් ගෙඩි වැටෙන නියායයි. අපි හිතන්නේ ඉඳගත්ත ගමන් මම සමාධිය උපදවා ගන්නවා කියල. ඊට පස්සෙ කියනවා අනේ බෑනේ කියල.

එහෙම එක පාරටම හදිස්සියෙන් මේක කරන්ට බැරි බව දැන් අපි තේරුම් ගත යුතුයි. මේක දීර්ඝ වැඩපිලිවෙලක්, ඉතාම නුවණින් කල්පනා කළ යුතු වැඩපිළිවෙලක්, අතිශය ගැඹුරු ගම්භීර වැඩපිළිවෙලක්, සියුම්ව තෝරා බේරා ගත යුතු වැඩපිළිවෙලක්, ඒකායන වැඩපිලිවෙලක්, තවත් මගක් නැති වැඩපිලිවෙලක් තමයි ධර්ම අවබෝධය පිණිස පවතින්නේ කියල අපි තේරුම්ගත යුතුයි. ඒ වැඩපිලිවෙලේ ආරම්භයට නොපැමිණ, අනුපිළිවෙල පුරුදු නොකොට, ඉවසීම රහිතව ධර්ම මාර්ගයේ ප‍්‍රතිඵල දිනා ගැනීමක් තබා ධර්ම මාර්ගය අහලකට පැමිණීමක්වත් සිදු නොවන බව අපි තේරුම් ගත යුතුයි.

අපි සියලූ දෙනාටම සෙත් පතනවා ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකායන නිවන් මග විදිහට අපිට පෙන්වා දෙන මේ උතුම් නිවන් මග පුරුදු කර ගැනීම පිණිස අනිවාර්යෙන්ම උවමනා කරන මේ උතුම් පරම ගම්භීර වූ ධර්මය වන ඒ සතර ඉද්ධිපාද ධර්මයෝ මැනවින් තේරුම් ගෙන ඒ උතුම් ධර්මයන් කෙරෙහි බලවත් වූ ප‍්‍රසාදයෙන් යුක්ත වූ, ගෞරවයෙන් යුක්ත වූ අදහස ඇතුව ඒ උතුම් ධර්මයෝ පුරුදු කර ගැනීම පිණිස බලවත් වූ කැමැත්ත ඇතිකර ගැනීමට දුර්ලභ වූ භාග්‍යය සියලූ දෙනාටම උදාවේවා කියල.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Extracted from an email from "Lucky Abey [wl.abey (at) gmail (dot) com]"

No comments:

Post a Comment