Showing posts with label bikkhu. Show all posts
Showing posts with label bikkhu. Show all posts

Thursday, May 17, 2012

මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න

(සෙනෙහෙබර මවක් සහ යොවුන් පුතකු අතර ඇතිවූ දෙබසකි)

පුතා :- අම්මෙ… මම කාරණාවක් අහන්ට ද? මට මහණවෙන්න අවසර ඕන.

මව :- අනේ මගෙ රත්තරං පුතේ, මොනවද මේ කියන්නේ…? පුතා මහණ වුනාම අපට සලකන්නේ කවුද?

පුතා :- ඇයි අම්මේ, අම්මටයි තාත්තටයි සලකන්න මගේ නංගියි මල්ලියි ඉන්නෙ! එයාල මම සලකනවටත් වැඩිය හොඳට අම්මලාට සලකාවි.

මව :- අපි වයසට යන කොට අපිව මගහැරල යන්න පුතාට දුක නැද්ද?

පුතා:- අම්මේ පරමාර්ථය උතුම් නම්, මේ ලෝකෙ මොකක්ද දරාගන්න බැරි දුක! කොහොම උණත්, මහලු කාලයේ දි අම්මලාට සලකන්න කෙනෙක්, උපස්ථාන කරන්න කෙනෙක් නැත්නම් මම පිඬු සිඟා ගොස් ලබන ආහාර අම්මලාට කවන්නටත්, සිවුරු සඳහා පූජා කරනු ලබන වස්ත්‍ර අම්මලාගෙ ප්‍රයෝජනේට දෙන්නත් මට පුළුවන් නෙ. මෙවැනි පින්කම් අපේ මහා කාරුණික අමාමෑණියන් වහන්සේ පවා භික්‍ෂූන් වහන්සේට තහනම් කරල නැහැ. එතකොට අපට කොච්චර පී‍්‍රතියෙන් ඉන්න පුළුවන්ද….?

මව :- ඉතින් රත්තරන් පුතේ….., පුතා මහණ උණාම අපි කිසිකෙනෙක් ළඟ නැතිව පුතාට ඉන්න පුළුවන්ද?

පුතා :- අම්මේ, අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සෙ දේශනා කරපු ආකාරයට, මේ විදියට සෙනෙහෙවන්ත, සමීප අයට තදින් බැඳී සිටින බැමි ලිහා දමන තරමටයි හිතේ සැපයත්, නිදහසත්, ඇතිවන්නෙ.

“පියතො ජායතී සොකො – පියතො ජායති භයං
පියතො විසමුත්තස්ස – නත්ථි සොකො කුතො භයං “

අම්ම , තාත්ත, සහෝදර, සහෝදරියන්, ඥාති හිතමිත්‍රාදීන් කෙරෙහි ඇති ආදරය මුළු ලෝක සත්ත්වයා කෙරෙහි දක්වන්ට පටන්ගත් තැනයි නියම සැපත ඇතිවන්නෙ… නියම සතුට ඇති වෙන්නෙ. මම පැවිදි උණාම එක අම්ම කෙනෙකුගෙ පුතෙක් නෙවෙයි. හැම අම්මලාගෙම පුතා. එක පුතෙකුගෙ පියෙක් නෙවෙයි. හැම පුතාගෙම පියා. එතකොට අම්මෙ කාටත් පොදුවේ මෛත්‍රී කරන්න, කරුණාව දක්වන්න, සේවය කරන්න මට පුළුවන්. ඊට වඩා වැඩි සැපයක් තියෙනවද….! සුවයක්, නිදහසක් තියෙනවද…!

මව :- ඉතින් මගේ බුදු පුතේ, මහණ උණාම පුතාට දුක් විඳින්න වෙනව නේද?

පුතා :- අම්මේ, ඒ ඒ දේවල් තම කැමැත්තෙන්ම අත් හරින්න හැකිවීම ලොකු භාග්‍යයක්. ඒ ලැබෙන සැපය, සුවය අප්‍රමාණයි. පුහු කාමයන් ගෙන් වෙන්වී සිටීමේ අගය අප අමාමෑණියන් වහන්සේ කෙතරම් අවස්ථාවලදී දේශනා කරල තියෙනවද…. ඒ වගේම අම්මේ මේ සැපය, සතුට කියන දේ සිතේ ඇතිවන දෙයක් මිස, ඉන් බාහිර වූ දෙයක් නෙවෙයි. ඉතින් අම්මේ, පැවිදි ජීවිතය සැපෙන් ගෙවීමට මගේ හිත හදාගෙන තියෙනව නම්, බාහිර දෙයින් මට කොහොම ද දුකක් එන්නෙ…?

මව :- ඉතින් පුතේ ඔයාට දානෙ වේලක් එහෙම වැරදුනොත්?

පුතා :- අනේ මගේ අම්මේ, ඕකත් කණගාටුවෙන්න දෙයක් ද? වේලක් දෙකක් බඩගින්නෙ ඉන්න එක ඔය තරම් දුෂ්කර දෙයක්ද? මේ දුක්ඛිත සංසාර ගමනෙදි අපි කොයිතරම නම් බඩගින්නෙ ඉන්න ඇති ද…? කුසට වේලක් ආහාර නැති උණාට අම්මෙ, බුදුසමිඳුගෙ ලයින් උපන් දරුවන්ට අනතුරක්, කරදරයක් වෙන්නෙ නෑ. එයාල ධර්මය තුළ සුරක්‍ෂිතයි. පිය උරුමය එයාලට හැමදාම ආරක්‍ෂාව සලසනව. අනික අම්මෙ, සාරා සංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දානාදි පාරමිතාවන් පුරාගෙන ආපු අප මහා කාරුණික බුදුපියාණන් වහන්සේටත් දානවේල වැරදුණා නම් අපි වගේ අය ගැන කවර කතාද?

මව :- අනේ මගෙ පුතා නම් සුදුසු මහණදම් පුරන්නමයි සුදුසු. ඒ උණත් පුතේ, අපි කොහොමද පුතා නැති පාළුව ඉවසාගෙන ඉන්නෙ?

පුතා :- ඕකත් කනගාටුවෙන්න දෙයක් ද අම්මේ? මට මහණවීමට කැමැත්ත ඇතිවුන එක ගැන අම්ම සතුටුවෙන්න ඕන. දරුවෙක් ශාසනයට පූජ කිරීමෙන් ලැබෙන පින අප්‍රමාණයි. ඒ නිසා හිත පහදවා ගෙන ඒ සියළු පින් අනුමෝදන් වෙන්න. අනික අම්මෙ අපිට මේ සංසාරෙ කොයිතරම් නම් දරුවො ඉඳල ඇති ද? එයාල අකාලයේ මැරුණු, අතුරුදහන් වුනු, දෙමව්පියන්ට හිතුවක්කාර වෙලා දාල ගිය අවස්ථා කොච්චර නම් තියෙන්න ඇති ද? දෙමව්පියො විදියට අපි ඒ වෙනුවෙන් කොයිතරම් නම් කඳුළු හලන්න ඇති ද? ඒ හලාපු කඳුළු සතර මහා සාගර ජලයටත් වඩා වැඩි බවයි තුන් කල් දකිනා අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියල දුන්නෙ. ඉතින් තවත් අපි මේවට ඇලිල සංසාරෙම පතමින් ගියොත්, මේ කඳුලින්, සුසුමින් නම් ගැලවීමක් නැහැමයි අම්මෙ.
අනික අම්මෙ අපිට හැමදාම එකට ඉන්න බැහැනෙ. කවද හරි යන්න වෙනව. විවාහයක් කරගත්තත් මට මේ විදියටම අම්මලගෙන් වෙන් වෙලා යන්න වෙනව. ඉතින් මම මේ යන්න හදන්නෙ ඊට වඩා සිය දහස් ගුණයකින් උතුම් දේකට. අම්මලට පුළුවනි ඕනි වෙලාවක ඇවි මාව බලන්න. කතාබහ කරල බණ ටිකක් අහල යන්න.

මව :- ඒක නම් ඇත්ත තමයි පුතේ. මගේ බුදු පුතාගෙ අදහස්වල වටිනාකම මට මොහොතෙන් මොහොත වැටහෙනව. මගෙ පුතා ගිහිගෙන් නික්මෙල, මහණ දම් පුරමින් සිල්වත්, ගුණවත් ජීවිතයක් ගත කරන කොට, ඒ ගැන අම්මට කොච්චර සතුටුවෙන්න පුළුවන්ද?

පුතා :- මම සිවුරු පොරවාගෙන පිරිසිදු සිල් ආරක්‍ෂා කරන කොට එයින් ලැබෙන මහත්පල මහා ආනිසංස පින් අම්මලත් නිතරම අනුමෝදන් වෙන්න. අම්මල මාව මේ ලෝකෙට බිහි කරල, හදපු වඩපු නිසානෙ මට මේ තරම් උතුම් දෙයක් කරගන්න වාසනාව ලැබුනෙ. බුද්ධ පුත්‍රයෙකු ලෙස මම එක පවුලකට සීමා නොවී, මුළු සමාජයටම යහපතක්, ආශිර්වාදයක් වෙමින් ජීවත්වීම දකින විට කොට අම්මට ලොකු සතුටක් ඇතිවේවි.

මව :- මගෙ රත්තරන් බුදු පුතේ, මා පුතාට පෙවු මවු කිරිවල ණය ගෙවෙන්නට, පුතා මා දහම් කිරිවලින් පෝෂණය කරනවා වගෙයි.

පුතා :- දරුවන්ට දෙමව්පියන් ගෙ ණය ගෙවන්න තියෙන එකම ක්‍රමයත් ඒකමයි අම්මෙ. දෙමව්පියන්ට ධර්මය කියා දීල ඒ අයව තිසරණයෙ පිහිටවන්න පුළුවන් උණොත්, දරුවො ඒ ණයෙන් නිදහස් වෙනව. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ අපට කියා දීල තියෙන්නෙ. අප මහා කාරුණිකයන් වහන්සේ දේශනාකොට වදාරන ලද ඒ උතුම් දහම් දහම් මඟ වඩින මහා සංඝ රත්නයේ සාමාජිකත්වය ලැබීම කොයි තරම් වාසනාවක් ද අම්මෙ?

මව :- සාදු…. සාදු…. මගෙ පුතාගෙ කැමැත්ත එසේම ඉෂ්ඨ වේවා!

පුතා :- පින්වත් අම්මේ, අප ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ ඒ මහඟු සම්බුදු පදවිය පවා ලබාගැනීමට ප්‍රථමයෙන් විවරණ ලැබුණේ තම දයාබර මැණියන්ගෙන්. මාතුපෝසක ජාතක කථා වස්තුවෙ අප මහා බෝසතානන් වහන්සේ දිනක් සිය දයාබර මෑණියන් සමග මුහුදු නැවක යාත්‍රා කරන අතරතුර යාත්‍රාව අනතුරකට පත්ව මුහුදේ ගිලෙන්නට නා. අප මහා බෝසත් විරුවාණන් සිය මව කරපිට තබාගෙන ඒ රුදුරු සාගරයේ තෙරක් බලා පිහිනන්ට වුණේ තම මෑණියන් ගලවා ගැනීමේ පරම චේතනාවෙන්.

මව :- ඔව් මගෙ රත්තරන් පුතේ, තම ආදරණීය මවගේ ජීවිතය බේරාගැන්මට ඒ රුදුර සාගර මාරයා සමග තම පෙම්බර පුත්‍ර රත්නය කරගෙන ගිය භයානක සටන දැක කම්පාවටත් හා මහා සංවේගයට පත් පින්වත් මවගේ මුවින් එකෙණෙහිම පිට වුණේ “පුතේ උඹ බුදුවේවා” යන හැඟුම්බර තමයි. පුංචි කාලෙ මම ඔය කතාව පුතාට කියල දෙනකොට ඔයා ඇස්දෙක ලොකු කරගෙන අහගෙන ඉන්න හැටි මට තාමත් මතකයි පුතේ.

පුතා :- ඉතින් මගෙ පින්වත් අම්මේ, මගෙ අම්මත් මට ඒ විදියටම ආශිර්වාද කරන්න. “සබ්බ දුක්ඛ නිස්සරණාය නිබ්බාන සච්ඡිකරණත්ථාය”….. මට අවසරයි මගෙ රත්තරං අම්මෙ.

මව :- දයාබර පුතේ, මම මගේ හද පත්ලෙන්ම නැගී එන මෙත් සිතින් මගේ රත්තරන් පුතාගේ කැමැත්ත ඉටු කරගැන්මට අවසර දෙනව. ඒ ශ්‍රේෂ්ඨ අරහත් ධජයට හිමිකම් කියන්නට පුතාට අවසරයි. මගේ රත්තරං පුතාට රත්නයට ත්‍රිවිධ රත්නයේම ආශීර්වාදය ලැබේවා!

පුතා :- ආශ්චර්‍යයි අම්මේ… ආශ්චර්‍යයි….! මට අවසරයි….. දෙවනුවත්, තෙවනුවත් අවසරයි….!

‘බුදුසරණ’ පුවත්පත ඇසුරෙනි. සංශෝධන සහිතයි.

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

Saturday, May 12, 2012

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්‌ ද?

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 
අප කළ යුත්තේ කුමක්‌ ද?

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්

පසුගිය වසරේ වෙසක්‌ පොහෝ දිනට මෙතෙක්‌ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යත්වය හා දේවත්වය මෙන්ම බ්‍රහ්මත්වය ද ඉක්‌මවා මනස දියුණු කරගෙන බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සපිරුණි. එය අපි 2600 සම්බුද්ධත්ව ජයන්තිය නමින් හැඳින්වීමු. මේ වසරේ වෙසක්‌ පොහොය දක්‌වා වර්ෂය සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නමින් ද ප්‍රකාශයට පත් කෙරිණි. "2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු" යන පාඨය සහිත තොරණ බැනර් ආදිය රට පුරා ප්‍රදර්ශනය වීමට ද යොදනු ලැබීය. එහෙත් එහි අර්ථය හෝ වැඩි දෙනා නොදනිති. සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සම්මන්ත්‍රණ, සාකච්ඡා, උත්සව, පිංකම් ආදිය ද රට පුරා සිදු කෙරිණි. අදත් සිදු වෙයි. බුදු උපත බුදුවීම හා උන්වහන්සේගේ පිරිනිවීම සිදුවූ වෙසක්‌ පොහෝ දිනය ලෝකයේ සියලුම බෞද්ධයන්ට වැදගත් වන දිනයකි. ඒ අතර ශ්‍රී ලංකාවාසීන්ට එම දිනය මෙන්ම 2600 සම්බුද්ධත්ව ජයන්තිය ද විශේෂ වශයෙන් වැදගත් වන කරුණු කීපයක්‌ ඇත.

මීට වසර 2600 කට පෙර බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවී නව වැනි මාසයෙහි එනම් දුරුතු පුරපසළොස්‌වක පොහොය දා පළමු වරට අපේ රටේ මහියංගනයට වැඩම කළහ. එදා සිටි පිරිසට දහම් දෙසා උන්වහන්සේ ඔවුන්ට හරි මඟ පෙන්වා දුන්හ. එම දහම් හමුවෙහි දී තවත් කොපමණ පිරිසක්‌ ධර්මාවබෝධය ලැබුවාදැයි නොදනිමු. එහෙත් සුමන නම් දේව ගෝත්‍රිකයා බුදු බණ අසා සෝවාන් ඵලයට පැමිණ පසුව සුමන සමන් දෙවි යන නමින් මෙරට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මේ කරුණු සිදු වූයේ මීට වසර 2600 කට පෙර බැවින් මෙම සම්බුද්ධත්ව ජයන්තිය අපට අතිශයින්ම ඓතිහාසික වැදගත් සන්ධිස්‌ථානයකි.

ගෞතම බුදුන් වහන්සේ තුන්වැනි වර ලක්‌දිවට වැඩම කළේ බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දෙහි කැලණි පුරවරයටයි. පළමු හා දෙවැනි වර අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේගේම කැමැත්තෙන් වැඩම කළ අතර කැලණියට වැඩම කළේ එදා එම ප්‍රදේශයෙහි ප්‍රධානියාව සිටි මණිඅක්‌ක නම් නාග ගෝත්‍රිකයාගේ ආරාධනාවෙනි. අපේ රටේ කෙනෙකුගේ ආරාධනාවෙන් වෙසක්‌ පුන් පෝ දිනක බුදුරජාණන් වහන්සේ අපේ රටට වැඩම කිරීම වෙසක්‌ පොහොය අපට විශේෂ වැදගත් කමක්‌ ඇති දිනයක්‌ බවට පත් වීමට හේතු භූත වූ කරුණකි.

ඓතිහාසික වශයෙන් තවත් වඩාත් වැදගත් වන කරුණක්‌ ද ඇත. එනම් බුද්ධත්වය ලබා සත් සතිය ගත කරද්දී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තපස්‌සු භල්ලුක යන සහෝදර වෙළෙඳුන්ට පූජා පැවැත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු රැගෙන ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලයට උතුරින් කඳු මුදුනක දාගැබක්‌ හදා එහි නිධන් කර තැබීමයි. එම දාගැබ අද අපි ගිරිහඩු සෑය නමින් හඳුන්වමු. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය දීම උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර මෙහි මිහිපිට තැනූ එකම දාගැබ මෙන්ම පැරණිතම දාගැබ ගිරිහඩු සෑයයි. එය සිදුවූයේ ද මීට වසර 2600 කට පෙරයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජන්ම භූමියෙන් එනම් දඹදිවින් බැහැර වැඩම කළ එකම රට ශ්‍රී ලංකාව වන අතර උන්වහන්සේ තුන් වතාවක්‌ම මෙරටට වැඩම කිරීමෙන් අප කෙරෙහි දැක්‌වූ අනුකම්පාව අපි හැමදාම සිහි කළ යුතු ඓතිහාසික කරුණකි. බුදු වී 2600 වසරක්‌ ගත වන අවස්‌ථාවෙහි පමණක්‌ නොව එම බුද්ධාගමනයන් අප හැම විටක සිහිකළ යුතු වෙයි. සිහි කරමින් උන්වහන්සේගේ චරිතය හා දෙසූ දහම අනුව යමින් උතුම් වූ බුද්ධාශිර්වාදය ලබා ගැනීම අපට කළ හැකි අප කළ යුතු දෙයකි. බුදු බලය තරම් අපට ආශිර්වාද ලැබෙන වෙනත් කිසිදු බලයක්‌ නොමැති බව ද මෙහි දී කිව යුතුය.

බුද්ධාශිර්වාදය ලැබූ අප මවුබිමෙහි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් බුදුදහමට අනුගතව දිවි මඟ සකසා ගත් අපේ මුතුන් මිත්තෝ මේ බිම ධර්මද්වීපයක්‌ බවට පත් කළහ. එපමණක්‌ නොව පෙරදිග ධාන්‍යාගාරය මෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලැබීමට සමත් වූයේ ද බුදු දහම නිසාමයි. 2600 වසරක්‌ තිස්‌සේ අප රට වැසියන්ගේ මනස පෝෂණය කළ ඒ බුදු මඟ අපගේ මාතෘ භූමිය ස්‌වයං පෝෂිත රටක්‌ ලෙස පැවතීමට හේතු වූ බව රටවැසි හැම දෙනාම පිළිගත යුතු කරුණකි. මේ සියලු කරුණු නිසා එදා මෙන්ම අදත් මේ රට බෞද්ධ රටක්‌ ලෙස ලෝකය තුළ තහවුරු වී ඇති බව ද සත්‍යයකි. එසේ තහවුරු කළේ සිංහලයන් බව ද පිළිගත යුතු සත්‍යයකි.

අද මේ රට තුළ අසිංහල අබෞද්ධ ජනතාව ද වෙසෙති. ඔවුන්ට ඔවුන්ගේ කටයුතු කරගෙන යැමට සිංහල බෞද්ධයන්ගෙන් කිසිදු බාධාවක්‌ නොමැත. එහෙත් ආක්‍රමණශීලීව බෞද්ධ හා සිංහල උරුමයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ අසාධාරණයන් බව පෙන්වා දීමත් ඊට එරෙහිව නැඟී සිටීමත් සිංහල බෞද්ධයන් විසින් කළ යුතු දෙයකි. එසේ ක්‍රියාත්මක වන විට ජාතිවාදීන් හෝ ආගම්වාදීන් ලෙස සිංහල බෞද්ධයන්ට එරෙහිව කරුණු කියන, නැඟී සිටින අය ශීලාචාර මිනිසුන් නොවන බව කිව යුතුය.

2600 වසරක්‌ තිස්‌සේ මෙරට වැදගත් ශිෂ්ටාචාරයක්‌ ආරක්‍ෂා වී තිබේනම් එය එසේ වූයේ බුදු මඟ පදනම් කර ගෙනයි. එම ශිෂ්ටාචාරයට හානි සිදු වූයේ බුදු මඟෙන් ඈත්වීම නිසයි. තවත් පැහැදිලිව කිවතොත් අන්‍යාගමික අන්‍ය සංස්‌කෘතික බලපෑම් තර්ජන හා මර්දන නිසයි. එය මෙරට පුරවැසි මෙන්ම සත්‍ය ගරුක ලෝ වැසි හැම කෙනෙකු විසින්ම පිළිගත යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකාවෙහි ඉපදී ශ්‍රී ලංකා පුරවැසිකම හිමිකරගත් සියලු දෙනා විසින්ම තම මවුබිමේ ඉතිහාසය දැනගත යුතු අතර එම ඓතිහාසික උරුමයන්ට ගරු කළ යුතු ද වෙයි. එහෙත් අද එය දෙමළ හා මුස්‌ලිම් අය විසින් පමණක්‌ නොව ඇතැම් සිංහලයන් විසින් ද ගරු නොකරන දෙයක්‌ බවට පත් වී ඇත. බහුජාතික හා බහුආගමික සංකල්පයක්‌ ඉදිරිපත් කරගෙන මේ රටේ උරුමයන්ට හානි පමුණුවන වැඩ පිළිවෙළක්‌ තදින්ම ක්‍රියාත්මක වෙයි. එය කිසිසේත්ම වැදගත් සංකල්පයක්‌ නොව බහුබූතයක්‌ පමණි. රටක ඉතිහාසය පුරා පැවත එන උරුමයන් පදනම් කරගත් අනන්‍යතාව එම රටේ වැදගත් කමයි. 2600 වසරක්‌ තිස්‌සේ පැවත එන එම උරුමයන්ට ගරු නොකරන විට ඊට එරෙහිව කටයුතු යෙදෙන විට රටේ වැදගත්කම ද නැතිවී යයි.

මෙම සත්‍යය දන්නා ඊට ගරු කරන සිංහල බෞද්ධයන් මෙන්ම කතෝලික මුස්‌ලිම් හා දෙමළ සත්පුරුෂයෝ ද සිටිති. එහෙත් ජාතිවාදය හා ආගමික අන්තවාදය පදනම් කරගෙන සිතන මතන ක්‍රියා කරන ඒ අනුව බලය බෙදීමට වැර වෑයම් කරන මිනිසුන් නිසා 2600 ක උරුමයට බලවත් තර්ජන එල්ල වී ඇත. ඔවුන් අතර අන්‍ය ජාතික අනාගමිකයන් පමණක්‌ නොව සිංහලයෝ ද නරක බෞද්ධයෝ ද සිටිති.

මෙරට අනන්‍යතාව හා උරුමය දැන එය අතිශයින්ම අගය කළ කෙනෙකි මර්සලින් ජයකොඩි පියතුමා. එතුමා ඒ බව කවියෙන් පැවසුවේ මෙසේය.

උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත්
වෙහෙරෙන් සුදු වී ඇත නංවා කොත්
යම් විට යම් කොත් සුන් වී ඇත හොත්
යළි නංවන තුරු කන්න එපා බත්

වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන්
බැලු බැලු හැම තැනක වෙහෙරක්‌ පෙනීයන්
ඉන් දෙන පණිවිඩය සවනට දැනීයන්
දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්

මෙවැනි උතුම් අදහස්‌ ඇති රටේ අනන්‍යතාව පිළිගත් ඊට ගරු කරන තවත් අය ද නැත්තේ නොවේ.

එහෙත් අද මෙරට පුරවැසි බව ජන්මයෙන්ම ලබා ගත් මුස්‌ලිම්වරු ලෝකයේ වෙනත් මුස්‌ලිම් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකති. පසුගිය දා ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂව අරාබි රටවල් ඡන්දය දීම ගැන ඔවුන් හඬ ගා කියන්නේ අපේ රටවල් එසේ ඡන්දය දුන්නාය කියලයි. මෙරට පුරවැසියන් ලෙස සිටිමින් මුස්‌ලිම් ආගමිකයන් සිටින වෙනත් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකා තමන්ට උවමනා දේ කර ගැනීමට එම රටවල බලපෑම් හා සහයෝගය ලබා ගැනීමට ක්‍රියා කිරීම මෙන්ම සිතීම ද බලවත් වරදකි. එවැන්නන් සිටින විට රටක්‌ දියුණු කළ නොහැක. රටේ සමගිය ඇති නොවේ. ඒ බව මුස්‌ලිම් සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂයෙන් මුස්‌ලිම් දේශපාලකයන් තදින්ම සිතට ගත යුතුය.

මෙහි පුරවැසිකම ඇතිව සිටින දෙමළ ජනයා ද මෙරට වැසියෝය. එම දෙමළ ජනතාව තමන්ගේ ජනතාව ලෙස සලකමින් බහුතර දෙමළ ජනගහනයක්‌ සිටින තමිල්නාඩුවේ දෙමළ නායකයන්ට හෝ ඉන්දීය ආණ්‌ඩුවට ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ නැත. මෙරට දෙමළ දේශපාලකයන්ට ද දෙමළ ජනයා වෙනුවෙන් වෙනම බලතල හෝ ඊළමක්‌ වෙනුවෙන් කතා කිරීමට ක්‍රියා කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැත. එහෙත් ඔවුහු ඒ දේ කරති. එය මෙරට වැසියන්ගේ සමගියට හා දියුණුවට ද බරපතළ බාධාවකි.

මෙම කරුණු ඉතා හොඳින් විමසා බලා සිහි නුවණින් යුතුව රටේ අනන්‍යතාව රැකගැනීමට ක්‍රියා කිරීම රටේ අනන්‍යතාවට ගරු කරන සත්‍ය ගරුක මෙරට වැසි හැම දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය. විශේෂයෙන් සිංහල බෞද්ධ පැවිදි ගිහි නායකයන්ගේත් දේශපාලකයන්ගේත් ප්‍රබල වගකීමක්‌ වන්නේය. එම වගකීම සිතට නොගෙන දේශපාලන බලය අරමුණු කරගෙන හෝ වෙනත් කරුණක්‌ නිසා හෝ විදේශ බලවේග වලට නතු වී ක්‍රියා කළහොත් 2600 වසරක්‌ තිස්‌සේ අප සතුව පැවත එන අපේ උරුමය අපේ ශිෂ්ටාචාරය හා රටේ අනන්‍යතාව වැනසී යන්නේය. ඊට ඉඩදුන්නොත් එම විනාශය සිදු කළ අය ලෙස අනාගතයේ දොස්‌ පැවරෙනු ඇත්තේ විජාතිකයන්ට හා විදේශිකයන්ට පමණක්‌ නොව මෙරට සිංහල බෞද්ධයන්ටත් සමඟයි. රටක්‌ හා ජාතියක්‌ වශයෙන් මෙන්ම උතුම් ශිෂ්ටාචාරයක්‌ දීර්ඝකාලයක්‌ තිස්‌සේම රැකගත් භූමියක්‌ වශයෙන් ද ඉදිරියටත් මැනවින් පැවතීමට නම් 2600 වසරක උරුමය මත පිහිටා අප ක්‍රියා කළ යුතුව ඇත. එයයි අපගේ අනුල්ලංඝනීය වූ කාර්ය භාරය වන්නේ. පිය උරුමය දැන ඒ අනුව ක්‍රියා කිරීම විනාශ නොවී පැවතීමට හේතු වන බව බුදුරජාණන් වහන්සේ ද (චක්‌කවත්ති සීහනාද සූත්‍රයෙහි) දේශනා කළහ. 

Extracted from an email [Sunil Perera / voice_of_army (at) yahoo (dot) com]

සම්මා කම්මන්තය යහපත් කර්මාන්ත ලෙස අර්ථ දැක්වීම දහම නැසීමකි

අපි පසුගිය දිනයේ සැමරුවේ 2601 වෙනි වෙසක් පෝය දිනයයි. එම පෝය ලබන මොහොත වන විට දහම් දිවයින තුල දහමේ ඉරණම ගැන අපගේ හදවත නැවතෙන තරම් කම්පනයක් ඇති වූයේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිළි කරමින් හයිලෙවල් මාර්ගයේ ඉසිපතන හංදියේ පටන් එල්ලා තිබූ බැනර් දැකීමෙනි. ඒවාට අනුව ඉතාම සෝචනීය ලෙස අර්ථ දක්වා තිබුනේ සම්මා කම්මන්තයයි. වරහන් තුල තේරුම ලෙස යොදා තිබුනේ යහපත් කර්මාන්ත ලෙසයි.

සහමුලින් වැරදි අර්ථ කථනයකි. කය සිල්වත් කර ගැනීම පිණිස අවැසි යහපත් කායකර්ම තුන මෙහි නියම අර්ථයයි. එනම්
  1. පර පණ නැසීම
  2. සොරකම් කිරීම
  3. කාමයේ වරදවා හැසිරීම
යන වැරදි තුනෙන් වෙන් වීමයි.

මොනම ආකාරයකවත් කර්මාන්ත මේ තුනෙන් අදහස් නොවේ. බුදු සමයේ මූලික හරයන් මෙවන් දරුණු විකෘති කිරීම වලට ලක්වූවොත් නුදුරු අනාගතයේම එහි විපාක අපිට විඳින්නට සිදුවනු ඇත.

අභිධර්මයට අනුව මෙම ශීල තුන රැකීමේ බලය සිතේ ඇති කරණු ලබන්නේ කුසල චෛතිසිකයක් විසිනි. 52ක් වූ චෛතිසික අතරින් එයට විරති සම්මා කම්මන්ත චෛතිසිකය යැයි කියනු ලැබේ. තමා අතින් ප්‍රාණ ඝාතයක් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔබේම සිතින් ඔබව වැලකුවේ නම් එහිදී මෙම චෛතිසිකය ඉපදුන බව තේරුම් ගත හැක. සොරකම් කිරීමට සිතක් ඇතිවී, කයින් එය සිදුවීමට පෙර නැවත සිතේ බලයෙන් එය වැලකී ගියානම් එහිදී මෙම චෛතිසිකය ඉපදුන බව තේරුම් ගත හැක. කාමයේ වරදවා හැසිරීමට සැරසී එය කයින් එය සිදුවීමට පෙර නැවත තමාගේම සිතේ බලයෙන් වලක්වා ගත්තේ නම් නම් එම අවස්ථාවන්හීද එම බලය ඔබට ලබා දුන්නේ මේ විරති සම්මා කම්මන්ත නම් බලසම්පන්න කුසල චෛතිසිකයයි.

තවත් බැනර් එකක සම්මා දිට්ඨිය ට ද මේ අවාසනාවන්ත ඉරණමම අත් කර තිබුණි. එහි සඳහන් වූයේ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් ගැන හා ඒවායේ විරුද්ධ කුසල් ස්වභාව ගැන දැන ගැනීම සම්ම දිට්ඨිය බවයි. අතිශය දුර්වල හා වැරදි අර්ථ කථනයකි.

සම්මා දිට්ඨිය හෙවත් නුවණ (ප්‍රඥාව ) ආකාර දෙකකින් විස්තර කෙරේ.
  1. දශ වස්තුක සම්මා දිට්ඨිය (කරුණු 10ක් ගැන නුවණ )
  2. චතුසත්‍ය සම්මා දිට්ඨිය මේ දෙකයි. (චතුරාර්‍ය සත්‍ය ගැන නුවණ )
අංක එක යටතේ එන කරුණු 10 මොනවාද?
  1. දන්දීමේ කුසල් විපාක ඇති බව
  2. පූජා කිරීමේ හොඳ විපාක ඇති බව
  3. ගුණවතුන්ට පුදපඬුරු යැවීමේ සැප විපාක ඇති බව
  4. කරන හොඳ නරක ක්‍රියා වල අනුරූප විපාක ඇති බව
  5. පරලොව සිට මෙලොවට ඉපදීම වශයෙන් එන බව
  6. මෙලොව සිට පරලොවට ඉපදීම වශයෙන් යන බව
  7. මවට කරන හොඳ නරක වල අනුරූප විපාක ඇති බව
  8. පියාට කරන හොඳ නරක වල අනුරූප විපාක ඇති බව
  9. මවෙක් හෝ පියෙක් නොමැතිව , කර්මානුරූපව, සකලාංග ප්‍රත්‍යව ඕපපාතිකව බිහිවන සත්වයන් නරකය, දිව්‍ය බ්‍රහ්ම ලෝක වල ඇති බව
  10. නුවන මෙහෙයවන පමණින් නොදන්නා දෙයක් නැති, සර්වඥ වූ අති ශ්‍රේෂ්ඨ බුදුවරුන් හා එම උතුමන්ගේ ආනුභාව ගැන දන්නා බව.
අංක දෙක යටතේ වඩාම උසස් කරුණු 4ක් ගැන නුවණක් සඳහන් වේ
  1. දුක - මුලු ලෝකයේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අශුභ ස්වභාවය
  2. දුකට හේතුව - හෙවත් පූර්ව භව තෘෂ්ණාව
  3. නිවන - ඒකාන්තයෙන් පවතින නිර්වාණ ධාතුව
  4. නිවන් මඟ - නිවනට පත්වීමට පිරිය යුතු පිළිවෙත හෙවත් අරිය අට මග
ඉහත සියල්ල ගැන පිරිසිඳු නුවණක් ඇති කර ගැනීමට නම් හැකි තරම් දහම හැදෑරිය යුතුය, නුවණ තීක්ෂණ කර ගැනීමේ භාවනා වල යෙදිය යුතුය. එම ප්‍රතිපදා තුලින් අති බලසම්පන්න ප්‍රඥා නම් කුසල චෛතිසිකය සිතේ පහල වන තරමට සම්මා දිට්ඨිය සාර්ථක වේ.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවැරදිව තේරුම් ගැනීමම බුදු සමයේ හරය වේ. මන්ද යත් නිවනට පත් වීමට ඇති ඇද නැති මග එය බැවිනි. පිළිපැදීමට පෙර වැරදි අදහස් හිතට ගත්තේ නම් සහමුලින් වැරදි මගක නිවන් සොයා යනු ඇත. මෙය ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්තේ එබැවිනි. තවත් විස්තර සොයනු කැමැත්තෝ අප විසින් පල කර ඇති ධර්ම පත්‍රිකාවෙන් ආරම්භ කරත්වා! පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත "චතුරාර්‍ය සත්‍ය" "අභිධර්ම මාර්ගය" ආදී පොත් වහන්සේලා උපරිමයෙන් පරිශීලනය කර තම තමාගේ ධර්ම ඥානය වඩා ගනිත්වා! නිවන් මග යත්වා! දහම වනසමින් පැතිරෙන වැරදි අර්ථ කථන නැසීමට දායක වෙත්වා!

Extracted from an email [Ruwan Weerasinghe (protectnation (at) yahoo (dot) com]