Wednesday, May 9, 2012

කුමක්ද මේ ඡන්දය ?

මේ පින්වතුන් පසුගිය ලිපිවලින් ඉගෙන ගත් මූලික දේ තමයි සෘද්ධිපාද සතර පුරුදු කරන්නේ නැතුව අපිට නිවන අවබෝධ කරන්ට ලැබෙන්නේ නෑ කියන කාරණය. නිවන අවබෝධ කර ගන්ට නම් සතර සෘද්ධිපාද අපි පුරුදු කරගන්ට ම ඕනැ. ඒ සතර සෘද්ධිපාද පුරුදු කරගන්න කොට මූලික වශයෙන් ඡන්ද සෘද්ධිපාදය අපි ඇතිකර ගන්ට ඕනැ. බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා, “මේ සියලූ ධර්මයන් ඡන්දය මුල්වෙලා තමයි හට ගන්නේ” (මූලක සූත‍්‍රය) කියල. ධර්මයන් කියන්නේ මනසිකාරයන් මත ඇතිවන දේවල්. ඒ ඔක්කොම ඇති වන්නේ ඡන්දය මුල්වෙලා. ඡන්දය කියන්නේ කැමැත්ත. ඒ කැමැත්ත මුල්වෙලා තමයි මනසිකාරය පිහිටන්නේ. යමකට කැමති නැත්නම් ඒ ඔස්සේ මනසිකාරයක් පිහිටන්නේ නෑ. කාමයන්ට කැමති නම් ඒ කාමයන්ට කැමති වීම මත මනසිකාරය පිහිටනවා. එතකොට ඒක ‘කාමච්ඡන්දය’ විදිහට දියුණු වෙනවා. එතකොට ඒ කාමයන්ට කැමැත්ත නැත්නම් කාමයන්ට කැමති බව ඉපදෙන්නේ නෑ. එය ඉපදුනේ මනසිකාරය තුළ. කාමයන්ට තියෙන කැමැත්ත ම මුල්වෙලා මනසිකාර කරනවා. එතකොට කාමච්ඡන්දය විදිහට වැඩෙනවා. ඉතින් අන්න ඒ වගේ අපි තුළ අරහත්වයට කැමැත්ත තියෙන්ට ඕනැ. සසර දුකින් නිදහස් වීමට කැමැත්ත තියෙන්ට ඕනැ. ඒ කැමැත්ත මුල්වෙලා මනසිකාරය පිහිටනවා. අන්න එතකොට ඒ කැමැත්ත බලවත් දෙයක් බවට පත් වෙනවා. ඒකට තමයි සෘද්ධි පාදය කියන්නේ. ඡන්දය මුල්වෙලා සෘද්ධි පාදය සකස් වෙනවා. එතකොට ඒකට සෘද්ධි පාදය කියල කියන්නේ මනුෂ්‍යයාගේ ජීවිතය මුලූමනින් ම පරිවර්තනයකට ලක් කරන්ට පුළුවන් අතිශය බලවත් දෙයක් නිසා.

අපේ හිතේ තියන අකුසලය ප‍්‍රහාණය කරනවා කියන එක පුංචි දෙයක් නෙමෙයි. අතිශය අමාරු දෙයක්. නූපන් අකුසල් උපදින්නේ නැති වෙන්ට කටයුතු කරනවා කියන දෙය, අතිශය අමාරු දෙයක්. කුසල් උපදවා ගන්නවා. උපන් කුසල් ස්ථිර බවට පත්කර ගන්නවා. සම්පූර්ණ කර ගන්නවා, ඒවා අමාරු දේවල්. ලෝකෙ තියන අමාරු ම දේවල්. අන්න ඒක සිද්ධ වෙන්නේ කැමැත්ත මුල්වෙලා. ඉතින් ඒ කැමැත්ත ලෝකෙ තියන අමාරු දෙයක් උදෙසා පිහිටන නිසා තමයි ඒක සෘද්ධි පාද වෙන්නේ. නැත්නම් අපි කැමැති වෙනත් දේ ඕන තරම් තියනවානේ. ඒවා ලාමක යි. ඒව සෘද්ධි පාද වෙන්නේ නෑ. ඒ නිසා ඒ කැමැත්ත ගැන හොඳ වැටහීමක් අපි ළඟ තියෙන්ට ඕනැ.

දැන් බලන්න සසර දුක ගැන වටහීමක් නැති කෙනාට සසර දුකින් නිදහස් වෙන්ට කැමැත්තක් ඇති වෙන්නේ නෑ නේද? ඒක පැහැදිලියි නේ. ඒ ගැන වැටහීමක් නැත්නම් සසර දුකින් නිදහස් වෙන්ට ඕනැ කියන අදහසක් එන්නේ නෑ. සසර දුක ගැන තේරෙන්නේ, සසර දුක ගැන කියා දුන් භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිගැනීමෙන්. ඒ ධර්මය පිළිගත්ත කෙනා සසර දුක තේරුම් ගන්නවා. සසර දුක තේරුම් අරගෙන එයින් නිදහස් විය යුතු යි කියන අදහස ඇතිකර ගන්නවා. නිදහස් වෙන්ට කැමති වෙනවා.

එතකොට ඒ දුකින් නිදහස් වීමට තියන කැමැත්ත මුල්වෙලා තමයි දුකින් පරිපූර්ණ වශයෙන් නිදහස් වීමට එයා ආස කරන්නේ. පරිපූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙන්ට නම් අරහත්වයට පත් වෙන්ට ඕනැ. එහෙනම් එයා අතිශය බලවත් වූ කැමැත්තක්, තියුණු කැමත්තක් උපදවා ගන්නවා ඒකාන්ත වශයෙන් මේ දුකින් නිදහස් වෙන්ට ඕනැ කියල. තව ජීවිතයකට ගියා කියල අර්ථයක් නෑ. හිස් දෙයක්. තව ජීවිතයකට ගියත් වයසට යෑම තියනවා. ඒ නිසා උපන් දුක තියනවා. ලෙඩවීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම තියනවා. ඒ නිසා උපන් දුක තියනවා. අප‍්‍රියන් හා එක්වීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. මරණයට පත්වීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. කැමති දේ නොලැබීම තියනවා, ඒ නිසා උපන් දුක තියනවා. කායික දුක් තියනවා, මානසික දුක් තියනවා. සුසුම් හෙලීම් තියනවා. දුක් දොම්නස් තියනවා. ඊට වඩා දෙයක් මේ ජීවිතෙත් නෑ. වෙන ජීවිතේකත් නෑ. මෙන්න මෙයයි මේ ලෝකයේ තිබෙන දුක කියල යම්කිසි කෙනෙක් පිළිගත්තොත්, අවබෝධකර ගන්න තිබෙන දේ මෙයයි කියල තේරුම් ගත්තොත්, එයා අරහත්වයට පත් වෙන්ට කැමති වෙනවා. තවත් ඉදිරියට ගියා කියල අපිට ලබන්න දෙයක් නෑ. තව ටිකක් උත්සාහ කරල බලමුකෝ කියල ලබන්න දෙයක් නෑ. දැන් මේ ජීවිතේ නොලැබූ දෙයක් ඊළඟ ජීවිතයේ දී ලැබෙයි ද? එහෙම එකක් නෑ. එහෙම එකක් ලැබෙන්නේ නෑ කියල තේරුම් ගන්නේ පරම සත්‍යයක් වූ ආර්ය සත්‍යය ගැන තේරුමක් තියනවා නම් පමණ යි. ඒ පරම සත්‍යයක් වූ ආර්ය සත්‍යය තුළ තමයි අපිට කියා දෙන්නේ ‘ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සාඋපායාසා සම්භවන්ති’ කියල.

එතකොට අපිට පරම සත්‍යයක් වූ දුක ගැන, දුකේ හට ගැනීම ගැන වැටහෙනවා නම්, එයා දන්නව ඉපදුනා නම් ජරා මරණ දුක් දොම්නස්වලින් තොර දෙයක් නෑ කියල. එහෙනම් ඒ ඉපදීම කියන එක අර්ථවත් දෙයක් නෙමෙයි කියල එයා දන්නවා. ඉපදීම කියන එක අර්ථයක් උපදවන දෙයක් නෙමෙයි. ඉපදීමෙන් උපදින්නේ දුක ම යි, අර්ථවත් වටිනා දෙයක් උපදින්නේ නෑ. මේ ආකාරයෙන් ධර්මය තේරුම් ගත්තොත් එයා ඒකාන්ත වශයෙන් කළකිරෙනවා. මොකට ද කළකිරෙන්නේ? නැවත වතාවක් ඉපදීමට කළකිරෙනවා. කළකිරෙනවා කියන්නේ ඉපදීම අර්ථවත් දෙයක් නෙමේ හිස් දෙයක්, දුක් උපදවන දෙයක් කියල තේරුම් ගන්නවා. එසේ තේරුම් ගැනීම තමයි අවබෝධයෙන් කළකිරීම කියන්නේ. එහෙම තේරුම් ගත්ත කෙනා ඒ කෙරෙහි අකමැත්ත ඇති කර ගන්නවා. ඉපදීමට අකමැති වෙනවා.

එතකොට නැවත ඉපදීමක් නැති වෙන්ට නම් ඉපදීම ක්ෂය වෙන්ට ඕනැ. ඉපදීම ක්ෂය වෙන්ට නම් ඉපදෙන්න හේතුවෙන දේ ක්ෂය වෙන්ට ඕන. ඉපදෙන්ට හේතු සකස් කරල දෙන්නේ මොනවයින් ද? ආශ‍්‍රවවලින්. ආශ‍්‍රවවලින් තමා ආයෙ උපතකට ඕන දේ හදල දෙන්නෙ. අන්න එහෙම තේරුම් ගත්ත කෙනා ඉපදීමට අකමැති වෙනවා. එයා කැමති වෙනවා ආයෙ ඉපදෙන්නේ නැති පිරනිවීමට. පිරිනිවන්පාන්ට නම් අරහත්භාවයට පත්වෙන්ට ඕන. එයා අරහත්වයට කැමති වෙනවා. අරහත්වයට කැමති කෙනා ඒ කැමැත්ත මුල්වෙලා එයම හිතේ බලවත් වූ දෙයක් බවට පත්කර ගන්නවා. අන් සියලූ කැමති වීම් පහලට වැටෙනවා. කලින් ඔටුනු පලන්දගෙන හිටපු කැමති වීම් දැන් පහතට වැටෙනවා. ඒවා අවශේෂ දේවල් බවට පත් වෙනවා. අරහත්වයට කැමති හිතට අනෙකුත් කැමති වීම් අනවශ්‍ය දේවල්. හැබැයි මේ දේ එකපාරට වෙනව ද? නෑ ටික ටික තමයි සිද්ධ වෙන්නේ. තියුණු නුවණක් තියන කෙනාට සැනෙකින් වෙන්ටත් පුළුවන්. නමුත් අද යුගයේ එහෙම කල්පනා කරන්ට එපා.

මේ පින්වතුන් සමහර විට දැකල ඇති අහසේ කරනම් ගහන කට්ටිය. පුංචි ළමයි හිතනවා නේද, ‘ආ මමත් මේ විදියට කරනම් ගහන්නම්කෝ’ කියල. ඒ වගේ හැගීම් ඇතිකරගන්න එපා. ඒ අය ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් පුරුදු කරල කරපු දෙයක් ඒක. එකපාරට වෙලා නෙමෙයි ඒක. ඒකට කැමැත්තක් තියෙන්ට ඕනැ. ඒ අයගෙ කැමැත්ත තිබුණා ඵලයටත්, ඵලය උපදවා ගන්නා වැඩපිලිවෙලටත්. ඒ නිසා ආර්ය සත්‍යය හොඳින් තේරුම් අරගෙන හොඳින් ඉගෙන ගෙන තමා ගේ ජීවිතයට ගලප ගලපා බලන්න. ලෙඩවීම ගැන සිහිකරන්න, වයසට යෑම ගැන සිහිකරන්න, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ගැන සිහි කරන්න, අප‍්‍රියන් හා එක්වීම, කැමති දේ නොලැබීම, දුක් දොම්නස් උපායාස ගැන සිහි කරන්න, ඉපදීම ගැන සිහිකරන්න. මේ දේවල් තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න.

ජරා මරණ ගැන හිතන්ට බැරි කෙනාට ඉපදීම ගැන හිතන්ට අමාරු යි. ලෙඩදුක් ගැන හිතන්ට බැරි කෙනොට ඉපදීම ගැන හිතන්ට අමාරුයි. ලෙඩ දුක් මේ දැන් පෙනෙන ඒවා. ඉපදීම අමතක යි නේ ද අපිට? ඒ නිසා ඉපදීම අපිට තේරුම් ගන්ටත් අමාරු යි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියන විදිහට අපි කල්පනා කරන්ට ඕනැ. තේරුම් ගන්ට ඕනැ. ඒ නිසා අපිට තේරෙන ජරා මරණ ගැන හොඳට සිහි කරන්න. තමන්ට සිදුවෙන දේ සිහි කරන්න. ආයෙ ඉපදුනොත් ඒත් එච්චර යි. ඒ විදිහට තේරුම් ගත්තොත් අපේ හිත ක‍්‍රමක් ක‍්‍රමයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්ට කැමති වෙනවා. අන්න ඒ කැමැත්ත මුල්වෙලා එයා ක‍්‍රමක් ක‍්‍රමයෙන් අකුසලයන් දුරු කරන්ටත්, කුසල් උපදවා ගන්ටත් කැමති වෙනවා. එතකොට මේ සඳහා ඡන්දය (කැමැත්ත) නේද මුල් වෙන්නේ කියන දේ තේරුම් ගන්න. අකුසල් දුරු කරන්නත් කැමැත්ත යි උවමනා කරන්නේ. නූපන් අකුසල් උපදවන් නැතුව ඉන්නත් කැමැත්ත යි ඕන වෙන්නේ. කුසල් උපදවන්ටත්, ඉපදුන කුසල් වර්ධනයටත් කැමැත්ත ඕනැ.

කැමැත්ත තියන කෙනා වෑයම් කරනවා. එසේ වෑයම් කරද්දී තමයි වීරිය උපදින්නේ. වෑයම් නොකරන කෙනාට වීරියක් උපදින්නේ නෑ. වෑයම් කරන්ට හිතෙන්නේ, වෑයම් කිරීම සිද්ධ වෙන්නේ කැමැත්ත මුල් වෙලා. එතකොට කැමැති කෙනා වෑයම් කරනවා. වෑයම් කරන කෙනා වීරිය කරනවා. වීරිය කරන කෙනාට මොකද වෙන්නේ? වීරිය කරන්ට කරන්ට එයාගෙ සිත බලවත් වෙනවා. වීරිය කරන කෙනාට යි ප‍්‍රත්‍යක්ෂ වෙන්නේ. මේක පුළුවන්, මෙතන අර්ථයක් තියනවා, යහපතක් තියනවා, මට අවස්ථාවක් තියනවා. වීරිය කරන කෙනා සිත දැඩි කර ගන්නවා. වීරියක් කරන කෙනාට යි තේරෙන්නේ මේක කළ හැකියි කියල. මේක කළ යුතු යි කියල. එතකොට වීරිය කරන්ට පුළුවන් වෙන්නේ වෑයම් කරන කෙනාට. වෑයම් කරන්නේ ඡන්දය තියන කෙනා. ඒ විදිහට අකුසල් දුරු කරන්ටත්, කුසල් උපදවන්ටත් වෑයම් කරනවා. ඡන්දය තියෙන්නේ කාටද? ආර්ය සත්‍යය තේරුම් අරගෙන අරහත්වයට පත් වෙන්ට කැමැත්ත තියන කෙනා තුළ. එතකොට ඒක සරල කාරණයක් නම් නෙමෙයි. අතිශයින් බලවත් එකක්. එබඳු බලවත් දේ පුරුදු කරන්ට සියලූ දෙනාට ම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Extracted from an email from [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

No comments:

Post a Comment