Showing posts with label ධර්මය. Show all posts
Showing posts with label ධර්මය. Show all posts

Thursday, May 24, 2012

බුදුන් වහන්සේ වදාළ ධර්මය

අත්ත වග්ගො 10

අත්තදත්ථං පරත්ථෙන
බහුනාපි න හාපයෙ
අත්ථදත්තමහිඤ්ඤාය
සදත්ථපසුතො සියා

බොහෝ සෙයින් අනුන් සඳහා කරන වැඩ නිසා තමාගේ වැඩ නො පිරිහෙළා ගත යුතුය.තමාගේ වැඩ මේ යයි විශේෂයෙන් දැනගෙන එහි යෙදිය යුතුය..

අත්ත වග්ගො 9

අත්තනාව කතං පාපං
අත්තනා සඞකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤාමඤ්ඤො විසොධයෙ

යමකු පව් කළොත් එයින් ඔහුම කෙළෙසෙන්නේ ය.යමකු පව් නොකළොත් එයින් ඔහු පිරිසිදු වන්නේ ය.පිරිසිදුව හා අපිරිසිදුවත් පවතින්නේ තමා කෙරෙහි ම ය.එකෙක් අනිකකු පිරිසිදු නොකරන්නේ ය..

අත්ත වග්ගො 8

යො සාසනං අරහතං
අරියානං ධම්මජීවිනං
පටික්කොසති දුම්මෙධො
දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සෙව
අත්තඝඤ්ඤාය ඵල්ලතී

යම් අඥානයෙක් තමාගේ පාප වැරදි අදහසක් නිසා ධාර්මික දිවි පැවතුම් ඇති රහත් වූ ආර්යයන්ගේ අනුශාසනාවක් වළකාලයි ද හුණ ගසේ පල ගැන්ම මෙන් ඔහුගේ ම විනාශය පිණිස පවතී..

අත්ත වග්ගො 7

සුකරානි අසාධූනි
අත්තනො අභිතානිච
යං චෙ හිතං ච සාධුං ච
තං වෙ පරමදුක්කරං

තමාට අහිත වූ අයහපත් දේ ලෙහෙසියෙන් කරගත හැකිය.යම් දෙයක් තමාට වැඩ දායක හෝ යහපත් හෝ වේ නම් එය කිරීම අමාරුය..

අත්ත වග්ගො 6

යස්ස අච්චන්තදුස්සීල්‍යං
මාලුවා සාලමිවොතතං
කරොති සො තථත්තානං
යථා නං ඉච්ඡතී දිසො

සල් ගසේ එතුණු මාලුවා වැල එය මුළුමණින් ම යට කරගෙන සිටී.කෙනෙකුගේ තද දුස්සීලකම ඔහු යට කරගෙන සිටින්නේත් ඒ අයුරිනි.සතුරා සිය සතුරාට අනර්ථයක් කරන්නා සේ දුස්සීලයාත් දුස්සීලකම නිසා තමහට අනර්ථ කරගනී..

අත්ත වග්ගො 5

අත්තනාව කතං පාපං
අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මෙධං
වජිරං වස්මමයං මණිං

ගලෙන් ම ඇති වී ඒ ගල ම කා සිදුරුකර දමන දියමන්තිය මෙන් තමා විසින් කරන ලද,තමා තුළ ම උපන්,තමාගෙන් ම ඇතිවූ පාපය අනුවණ වූ තමා, මැඬලයි..

අත්ත වග්ගො 4

අත්තා හි අත්තනො නාථො
කො හි නාථො පරොසියා ?
අත්තනාච සුදන්තෙන
නාතං ලභති දුල්ලභං

තමාට පිහිට තමාම ය.වෙන කවරෙක් තමාට පිහිට වේ ද ?තමා මනාව දැවුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ..

අත්ත වග්ගො 3

අත්තනං චෙ තථා කයිරා
යථඤ්ඤ මනුසාසති
සුදන්තො වත දම්මෙථ
අත්තා හි කිර දුද්දමො

යම් පිළිවෙලකින් කටයුතු කිරීමට අනුන්ට අනුශාසනා කරයි ද, ඒ පිළිවෙලින් ම තමාත් ක්‍රියා කළ යුතුය.තමා දමනය වී අනුන් දමනය කළ යුතුය.ඉතාමත් අමාරුම කටයුත්ත නම් තමා විසින් තමා දමනය කර ගැනීම ය..

අත්ත වග්ගො 2

අත්තානමෙව පඨමං
පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤ මනුසාසෙය්‍ය
න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

තමාම පළමු කොට සුදුසු ගුණයෙහි පිහිටා ඊළඟට අනුන්ට ඒ ගැන අනුශාසනා කළ යුතුය.එසේ කරන පණ්ඩිතයා නො කෙලෙසෙයි..

අත්ත වග්ගො 1

අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤ තරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො

තමාට තමා ප්‍රිය නම් ආත්මය රැකගත යුතුය. පණ්ඩිතයා බාල විය, මැදුම් විය, මහලු විය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවක දී වත් කුසලින් තමා පෝෂණය කරගත යුතුය..

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

බුදුන් වහන්සේ වදාළ ධර්මය

බාල වග්ගො 7

චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙනෙ ව අත්තනා
කරොන්තා පාපකං කම්මං
යං හොති කටුකප්ඵලං

නුවණ මඳ වූ දෙලෝ වැඩ නොදත් අනුවණයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් තමාට ම සතුරු වූ ආත්මයක් සමග හැසිරෙත්..

බාල වග්ගො 5

යාවජීවම්පි චෙ බාලො
පණ්ඩිතං පයිරුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා

හැන්දට මාළු පිණිවල රස නො දැනෙන්නා සේ මෝඩයාට දිවි පවත්නා තෙක් පණ්ඩිතයකු ඇසුරු කළත් ධර්මය දැනගත නො හැකිය...

බාල වග්ගො 4

යො බාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො
බාලො ච පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්ච තී

යම් මෝඩයකුට තමාගේ මෝඩකම ගැන හැඟේ නම් එයින් මත් ඔහු පණ්ඩිතයෙක් වේ.'තමා පණ්ඩිතයෙකැ'යි සිතන මෝඩයා ඒකාන්තයෙන්ම මෝඩයෙකි..

බාල වග්ගො 13

යාවදෙව අනත්ථාය
ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කං සං
මුද්ධමස්ස විපාතයං

මෝඩයා දත් යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔහුගේ අනර්ථය පිණිස පවතී.එය ඔහුගෙ නුවණ නමැති හිස පොඩි කර කුසල් නමැති යහපත් ගතිගුණ නසාලයි..

බාල වග්ගො 12

න හි පාපං කතං කම්මං
සජ්ජු බීරං ව මුච්චති
ඩහන් තං බාලමන් වෙති
භස්මච්ඡන්නොව පාවකො

දෙවූ වහා ම කිරි නොමිදෙන්නාක් මෙන් කෙනෙකු විසින් කරන ලද පව් කළ වහා නො මෝරයි.එය අළු යට වූ ගින්නක් මෙන් මෝඩයා දවමින් ඔහු ලුහුබඳී..

බාල වග්ගො 10

මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

පව් මෝරා විපාක දෙන තෙක් මෝඩයා එය මී පැණි මෙන් සලකයි. යම් විටෙක පව මෝරා විපාක දෙයි ද එවිට උහු දුකට වැටේ..

බාල වග්ගො 9

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීනො සුමනො
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේ ද, යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකි වේ ද එබඳු දේ කිරීම යහපත්ය..

බාල වග්ගො 3

පුත්තා මත්ථි ධනම්මත්ථි
ඉති බාලො විභඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං ?

මෝඩයා මට දරුවෝ ඇත, ධනය ඇත කියා සිතමින් වෙහෙසෙයි.තමාට තමාත් නැති කල කුමන පුත්තුද ? කුමන ධනයද ?

බාල වග්ගො 16

අඤ්ඤා හි ලාභුපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනි
එවමෙතං අභිඤ්ඤාය
භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාහිනන්දෙය්‍ය
විවෙක මනුබ්‍රෑහයෙ

ලාභ සත්කාර උපදවන පිළිවෙත එකකි. නිවන කරා ලංවන පිළිවෙත අනිකකි.බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව මෙය මෙසේ දැන ලාභ සත්කාරවලට සතුටු නොවිය යුතුය. විවේකය වැඩිය යුතුය..

බාල වග්ගො 15

මමෙව කතමඤ්ඤන්තු
ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු
කිච්චාකිච්චෙසු කිස්මිචි.
ඉති බාලස්ස සංකප්පො
ඉච්ඡා මානොව වඩ්ඪති

ගිහි පැවිදි දෙපක්ෂයට ම පන්සලේ සියලු වැඩ කටයුතු මා විසින් කරන ලද්දේ යැයි ද, සියලු කටයුතු නොකටයුතු වලදී ඔවුහූ මට පක්ෂ වෙත්වා යැයි ද සිතයි. මේ අයුරින් මෝඩයාගේ මෝඩ කල්පනාව ද, ආශාවද, මානයද වැඩේ..

බාල වග්ගො 14

අසතං භාවන මිච්ඡෙය්‍ය
පුරෙක්ඛාරං ච භික්ඛුසු
ආව සෙසු ච ඉස්සරියං
පූජා පරකුලෙසු ච

අයහපත් හිස් භික්ෂුව අනුන්ගේ ගරු බුහුමන් කැමති වේ. භික්ෂූන් අතර පෙරටු බව කැමති වේ. ආවාසයන්හි අධිපතිකම කැමති වේ. නො නෑ කුලයන්හි පුද සැලකිලි කැමති වේ..

බාල වග්ගො 11

මාසෙ මාසෙ කුසග්ගෙන
බාලො භුඤ්ජෙථ භොජනං
න සො සංඛතධම්මානං
කලං අග්ඝති සොළසිං

මෝඩයා මසක් පාසා කුස තණ අතින් ගෙන බොජුන් වළදයි.එහෙත් ඔහු චතුරාය්‍ය්ර්‍ සත්‍යය පිරිසිඳ දත් ආර්යයන්ගේ සොළොස් වන කලාව තරම්වත් නො වටනේය..

බාල වග්ගො 8

න තං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේ ද, යමක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදු වේ ද එබඳු දේ නොකිරීම හොදය..

බාල වග්ගො 6

මුහුත්තමපි චෙ විඤ්ඤු
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා

දිවට මාළුපිණිවල රස දැනෙන්නා සේ බුද්ධිමතාට මොහොතක් වුවත් පණ්ඩිතයකු ඇසුරු කිරීමෙන් වහා ධර්මය දැනගත හැකිය..

බාල වග්ගො 2

චරං චෙ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො
ඵනචරියං දළ්හං කයිරා
නත්ථි බාලෙ සහායතා

කළ්‍යාණ මිත්‍රයකු සොයා ඇවිදින්නකුට තමාට වඩා උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් හෝ නොලැබෙන්නේ නම් තනිව හැසිරීමේ අදහස දැඩි කරගත යුතුය.බාලයන් හෙවත් මෝඩයන් හා එක්වීම හොඳ නැත..

බාල වග්ගො 1

දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං

නිදි මරන්නාට රාත්‍රිය දිග ය.ගමන් ගොස් වෙහෙසුන අයට යොදුන දිග ය.බණ නොදන්නා වූ මෝඩයන්ට සසර දිගය.

Extracted from [Lucky Abey / wl.abey (at) gmail (dot) com]

Wednesday, May 23, 2012

බුදුන් වහන්සේ වදාළ ධර්මය

කොධ වග්ගො 13

මනොපකොපං රක්ඛෙය්‍ය
මනසා සංවුතො සියා
මනො දුච්චරිතං හිත්වා
මනසා සුචරිතං චරෙ

සිත කිපීම වළක්වා ගත යුතුය. සිතින් සංවර විය යුතුය.සිතින් සිදුවන දුසිරිත් හැර සිතින් සුචරිතයෙහි හැසිරිය යුතුය..

කොධ වග්ගො 12

වචිපකොපං රක්ඛෙය්‍ය
වාචාය සංවුතො සියා
වචිදුච්චරිතං හිත්වා
වාචාය සුචරිතං චරෙ

වචනය කිපීම වළක්වා ගත යුතුය.වචනයෙන් සංවර විය යුතුය.වචනයෙන් සිදුවන දුසිරිත් හැර වචනයෙන් සුචරිතයේ හැසිරිය යුතුය..

කොධ වග්ගො 11

කායප්පකොපං රක්ඛෙය්‍ය
කායෙන සංවුතො සියා
කායදුච්චරිතං හිත්වා
කායෙන සුචරිතං චරෙ

කය කිපීම වළක්වා ගත යුතුය.කයින් සංවර විය යුතුය.කයින් සිදුවන දුසිරිත් හැර කයින් සුචරිතයෙහි හැසිරිය යුතුය..

කොධ වග්ගො 14

කායෙන සංවුතා ධීරා
අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධිරා
තෙ වෙ සුපරිසංවුතා

පණ්ඩිතයෝ කයින් සංවර වෙත්. වචනයෙන් සංවර වෙත්. සිතින් සංවර වෙත්.එසේ වූවෝ ඒකාන්තයෙන් මනාව සංවර වූවෝ නම් වෙත්..

කොධ වග්ගො 9

යං චෙ විඤ්ඤු පසංසන්ති
අන්විච්ච සුවේ සුවේ
අවිච්ඡිද්ද වුත්තිං මෙධාවිං
පඤ්ඤා සීල සමාහිතං

නුවණැත්තෝ සිදුරු රහිත පැවතුම් ඇති බුද්ධිමත් වූ නුවණින් හා ශීලයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙකුට දිනපතා සොයා බලා කරුණු විමසා ප්‍රශංසා කෙරෙද්ද,

කොධ වග්ගො 10

නෙක්ඛං ජම්බොනදස්සෙව
කො තං නින්දිතුමරහති
දෙවාපි නං පසංසන්ති
බ්‍රහ්මුනාපි පසංසිතො

දඹ රනින් කළ ආභරණයක් බඳු වූ ඔහුට නින්දා කිරීමට කවරෙක් සුදුසු වේ ද ? දෙවියෝත් එබඳු පුද්ගලයාට පසසත්.ඔහු බ්‍රහ්මයා විසින් ද පසස්නා ලද්දෙකි..

කොධ වග්ගො 8

න චාහු න ව භවිස්සති
න චෙතරහි විජ්ජති
එකන්තං නින්දිතො පොසො
එකන්තං වා පසංසිතො

තනිකර ම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙර ද නො වී ය. මතු ද නො වන්නේ ය. දැනුදු නැත..

කොධ වග්ගො 7

පොරාණමෙතං අතුල
නෙතං අජ්ජතනාමිව
නින්දන්ති කුණ්හිමාසිනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිනම්පි නින්දන්ති
නත්ථි ලොකෙ අනින්දිතො

අතුලය, ලෝකයා නිශ්ශබ්දව සිටින්නාට ද නින්දා කරත්.බොහෝ සේ කථා කරන්නාට ද, නින්දා කරත්. ලෝකයෙහි නින්දා නොලබන්නෙක් නැත.මෙය අද ඊයෙක ඇති වූ දෙයකුත් නොවෙයි.මෙය පෙර සිට පවතෙන්නකි..

කොධ වග්ගො 6

සදා ජාගරමානානං
අහොරත්තානු සික්ඛිනං
නිබ්බානං අධිමුත්තානං
අත්ථං ගච්ඡන්ති ආසවා

හැම විට ම අවදිව සිටින (කෙලෙස් නින්දෙන් නොනිදන ) දිවා රෑ දෙකේහි ශීල, සමාධි, ප්‍රඥා පුරන, නිවනෙහි ඇලුණු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ නැති වෙත්..

කොධ වග්ගො 5

අහිංසකා යෙ මුනයො
නිච්චං කායෙන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං
යත්ථ අන්ත්වා න සොචරෙ

නිතර කයින් සංවර වූ යම් අහිංසක මුනිවරු වෙද්ද, ඔවුහූ යම් තැනකට ගොස් ශෝක නොකරද්ද, ඒ තැන වූ නිවනට යත්..

කොධ වග්ගො 4

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාපස්මිංපි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ

ඇත්ත කිව යුතුය.නො කිපිය යුතුය.අනිකකු යමක් ඉල්ලූවිට ටිකක් හෝ දිය යුතුය.මේ තුන් කරුණින් කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය..

කොධ වග්ගො 3

අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං

ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, තද මසුරා - දීමෙන් හෙවත් ත්‍යාගයෙන් ද,බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය..

කොධ වග්ගො 2

යො චෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො

ඉතා වේගයෙන් දුවන රථයක් වළකා මනාව හසුරුවා ගන්නා දක්ෂ රියැදුරකු මෙන්, යමෙක් සිතෙහි හටගත් ක්‍රෝධය මැඬපවත්වා ගනී ද, ඔහු නියම රියදුරෙකැ'යි මම කියමි.සාමාන්‍ය රිය එළවන අන් ජනයා නිකම් තෝන් ලනුව අල්ලන්නෝය..

කොධ වග්ගො 1

කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සංයොජනං සබ්බමතික්කමෙ‍ය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිංචනං නානුපතන්ති දුක්ඛා

යමෙක් ක්‍රෝධය දුරු කරයි ද, මානය පහ කරයි ද, සියලු සංයෝජන (බැඳුම් ) ඉක්මවයි ද, නාම රූප දෙකෙහි නො ඇලෙන රාගාදී කෙලෙස් නැති ඒ පුද්ගලයා කෙරෙහි කායික චෛතසික දුක් නො පවතී..

Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com